July 15, 2026

ත්‍රිකුණාමලය ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්, කප්පම් ගැනීම්, පැහැරගැනීම් සහ මනුෂ්‍ය ඝාතන රැසක් සිදුකරමින් ජනතාව දැඩි භීතියකට පත්කර තිබූ ‘දෝණිගේ කණ්ඩායම’ ලෙස පෙනීසිටි සංවිධානාත්මක අපරාධ කණ්ඩායමක ප්‍රධාන මොළකරු වන ඇන්ඩෲ හැන්නඩිගේ මලිත් බිම්සර නොහොත් ‘ගෙම්බා’ ඇතුළු එම කණ්ඩායමේ ප්‍රබල සාමාජිකයින් පිරිසක් මත්ද්‍රව්‍ය සහ මාරක ආයුධ ද සමඟ අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) සමත්ව ඇත.

මෙම අපරාධ කණ්ඩායම ප්‍රදේශය තුළ පතුරවා තිබූ දැඩි භීෂණය හේතුවෙන්, මොවුන්ට එරෙහිව තොරතුරක් ලබාදීමට පවා ප්‍රදේශවාසීන් අතීතයේදී දැඩි බියක් දක්වා තිබේ.

එහෙත් විශේෂ කාර්ය බලකායේ ත්‍රිකුණාමලය කඳවුරේ නිලධාරීන් විසින් ක්‍රියාත්මක කරන ලද සූක්ෂම මෙහෙයුම් මාලාවක ප්‍රතිඵලයක් ලෙස මෙම භයානක අපරාධ කල්ලිය මෙලෙස නීතියේ රැහැනට හසුකර ගැනීමට හැකිව ඇත.

විශේෂ කාර්ය බලකාය ත්‍රිකුණාමලය කඳවුරේ නිලධාරීන්ට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව ක්‍රියාත්මක වෙමින් ප්‍රථමයෙන්ම 2026 ජූනි මස 16 වන දින සිදුකළ වැටළීමකදී, මලිත් බිම්සර නොහොත් ‘ගෙම්බා’ නැමැත්තාගේ කණ්ඩායමට අයත් පුද්ගලයින් කිහිපදෙනෙකු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 61.5 ක් සමඟ අත්අඩංගුවට ගෙන තිබේ. එම සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා ත්‍රිකුණාමලය පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

එම මෙහෙයුම් තවදුරටත් පුළුල් කරමින්, 2026 ජූලි මස 14 වන දින විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් සිදුකළ තීරණාත්මක වැටළීමකදී මෙම සංවිධානාත්මක අපරාධ කල්ලියේ ප්‍රධාන මහමොළකරු වන ඇන්ඩෲ හැන්නඩිගේ මලිත් බිම්සර නොහොත් ‘ගෙම්බා’ සහ ඔහුගේ තවත් සගයන් දෙදෙනකු අත්අඩංගුවට ගැනීමට හැකිව ඇත.

ඒ වන විට ඔවුන් සන්තකයේ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 32 ක් සහ අපරාධ සිදුකිරීම සඳහා ළඟ තබාගෙන සිටි යකඩ කඩු 02 ක් තිබී සොයාගෙන ඇත. මෙම සැකකරුවන් සහ භාණ්ඩ ඉදිරි විමර්ශන කටයුතු සඳහා උප්පුවේලි පොලිස් ස්ථානය වෙත භාර දී තිබේ.