September 13, 2026

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට ගුවන් යානා 10 ක් මිලදී ගැනීමේදී යුරෝපීය ගුවන් සමාගමකින් ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 20 ක (ලක්ෂ 2) අල්ලස් මුදලක් ලබාගැනීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ නම්කරන ලෙස නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබේ.

මීට වසර 13 කට පෙර, එනම් 2013 වසරේදී අදාළ යුරෝපීය ගුවන් සමාගමෙන් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන විසින් ලබාගත්තේ යැයි කියන අල්ලස් මුදල නාමල් රාජපක්ෂ වෙත ලබා දී ඇති බව විමර්ශනවලදී හෙළි වී ඇත.

ඒ අනුව, නීතිපතිවරයා වෙනුවෙන් මෙම සිද්ධිය අධීක්ෂණය කරන අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ දිලීප පීරිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අදාළ උපදෙස් ලබා දී තිබේ.

2013/2014 කාලසීමාවට අදාළ මෙම මහාපරිමාණ වංචාව සම්බන්ධයෙන් රහස් පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබූ අතර, එහි සැකකරුවන් ලෙස හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන සහ ඔහුගේ බිරිඳ වන ප්‍රියංගා නියෝමාලි විජේනායක ඇතුළු පිරිසක් නම් කර තිබිණි.

කෙසේවෙතත්, මෙම අල්ලස් ජාවාරම් සිද්ධියේ ප්‍රධාන සැකකරුවෙකු වූ කපිල චන්ද්‍රසේන ට එරෙහිව විමර්ශන සිදුවෙමින් පවතිද්දී, ඔහු සිය මස්සිනා වන හිටපු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වාගේ නිවසේදී මියගොස් සිටියදී පසුගිය කාලයේදී සොයාගන්නා ලදී.

අනෙක් සැකකාරිය වන ප්‍රියංගා නියෝමාලි විජේනායක මේ වන විට විදේශගතව සිටින බැවින්, අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස්ගේ උපදෙස් මත ඇයට එරෙහිව නීතිමය පියවර ගැනීමට රහස් පොලිසිය වැඩිදුර කටයුතු යොදමින් සිටියි.