June 14, 2026

උතුරේ දේශපාලන කරළියෙන් සුවිශේෂී මෙන්ම තරමක් ‘උණුසුම්’ ආරංචියක් වාර්තා වෙනවා. ඒ වෙන කිසිවක් නෙවෙයි, යාපනය මහා නගර සභාවේ පසුගිය බදාදා පැවැත්වුණු සභා වාරය එකම ගෝරනාඩුවක් බවට පත්වුණු සිද්ධියක් ගැනයි. කතාව යන්නේ සුප්‍රසිද්ධ නල්ලූර් කන්දසාමි කෝවිලේ වාර්ෂික අගෝස්තු මහෝත්සවය වටායි.

නල්ලූර් උත්සව සමයේදී කෝවිල කිට්ටුව තියෙන ‘සංගිලියන් උද්‍යානයේ’ පොත් ප්‍රදර්ශනයක් පවත්වන්න අවසර දෙන්න කියලා නගර සභා කොමසාරිස්වරයා නිර්දේශයක් ඉදිරිපත් කරලා තියෙනවා. සාමාන්‍යයෙන් පොත් ප්‍රදර්ශනයක් කියන්නේ සංස්කෘතික වැඩක් වුණාට, මේක පිටුපස තියෙන ‘දේශපාලන හස්තය’ ඉව වැටුණු ගමන් සභාවේ හිටපු මන්ත්‍රීවරු සෙට් එකක් එක පාරටම කුලප්පු වෙලා.

මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක්ම සභාව මැද කෙළින්ම චෝදනා කරලා තියෙන්නේ, මේ පොත් ප්‍රදර්ශනය සංවිධානය කරන්නේ වෙන කවුරුත් නෙවෙයි, ‘චීන හිතවාදී කණ්ඩායම්’ විසිනුයි කියලා. “දෙමළ ජනතාවගේ සංස්කෘතික සහ සමාජීය උරුමයන් එක්ක සෙල්ලම් කරන්න දෙන්න බැහැ. චීන ලොක්කන්ගේ බලපෑම් මේවට ගාවගන්න කලින් මේ ගැන හොඳට හිතන්න ඕනේ” කියලා සභාවේ ලොකු තර්ක විතර්ක ඇතිවෙලා තියෙනවා.

ඇයි ඉතින් මෙච්චර කලබල වෙන්නේ? කතාව තියෙන්නේ මෙතනයි. හැමෝම දන්නවා උතුරේ වාර්ෂික වෙළඳ ප්‍රදර්ශනවල සහ සංවර්ධන වැඩවල ප්‍රධානම සහ ලොකුම ‘මනමාලයා’ වෙලා ඉන්නේ ඉන්දියාව. ඉතින්, ඉන්දියාවේ ‘බල ප්‍රදේශය’ කියලා සලකන යාපනයට, නල්ලූර් උත්සවය අස්සෙන් චීන බලපෑමක් රිංගන්න හදනවා කියන එක දේශපාලන ලොක්කන්ට අල්ලලා ගිහින්ම නැහැ.

වැඩේ දුරදිග යනවා දැකපු යාපනයේ හිටපු නගරාධිපතිනි පී. යෝගේස්වරී වහාම මැදිහත් වෙලා තියෙනවා. “දැන් මෙතන ලොකු භූ-දේශපාලනික ප්‍රශ්නයක් මතුවෙලා තියෙන්නේ. ඒ නිසා හදිසි වෙලා තීරණ ගන්න එපා. මේ ගැන ඊළඟ සභා වාරයේදී දීර්ඝව සාකච්ඡා කරලා, පස්සේ අවසන් තීරණයක් ගනිමු” කියලා තාවකාලිකව ගින්න නිවලා තියෙනවා.

ඉතින් බලමුකෝ, ඉන්දියාවේ ඇස් අස්සෙන් නල්ලූර් කෝවිල ගාව චීන පොත් ප්‍රදර්ශනය දාන්න අවසර ලැබෙයිද, නැත්නම් ‘දිල්ලි’ බලපෑමට යටවෙලා මේ චීන පොත් සෙල්ලම යාපනයෙන්ම හැලෙයිද කියලා.