August 2, 2023

උතුර සහ නැගෙනහිර පළාත්වලින් පොලිස් සේවයට බඳවාගන්නා තරුණ තරුණියන් සංඛ්‍යාව වැඩිකිරීමට පෙර, රාජ්‍ය සේවකයන් බඳවාගැනීම සම්බන්ධයෙන් දැනට පනවා ඇති අත්හිටුවීම ඉවත් කිරීමට අවසර ලබාගත යුතු බව මහජන ආරක්‍ෂක අමාත්‍යාංශය පෙන්වාදෙයි.

13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පසුගියදා කැඳවා තිබූ සාකච්ඡාවේදී තමිල් මක්කල් තේසිය කුට්ටනි නායක සහ යාපනය දිස්ත්‍රික් විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී. විග්නේෂ්වරන් ඉල්ලා තිබුණේ, උතුරු නැඟෙනහිර ප්‍රදේශවල තරුණ තරුණියන් වැඩි පිරිසක් පොලිස් දෙපාර්තමේන්තුවට බඳවාගන්නා ලෙසයි.

පළාත්වලට පොලිස් බලතල බෙදාහැරීම සහ උතුර-නැගෙනහිර තරුණයන් පොලිස් දෙපාර්තමේන්තුවට බඳවාගැනීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් විග්නේෂ්වරන් මන්ත්‍රීවරයා කියාසිටියේ, රජයට එසේ කළ හැකි නම් එම ප්‍රදේශවල තරුණයන් සහ පොලිසිය අතර පවතින විරසකය සමනය විය හැකි බවයි.

විග්නේෂ්වරන්ගේ මන්ත්‍රීවරයාගේ ඉල්ලීමට අමාත්‍යාංශය ඉඩදෙන්නේ දැයි කළ විමසීමකදී, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණතිලක කියා සිටියේ, ඒ සම්බන්ධයෙන් පළමුව අදාළ ආයතනවලින් අවසර ලබාගත යුතු බවයි.

“රාජ්‍ය සේවකයන් බඳවා ගැනීම අත්හිටුවා තිබෙනවා. අපි කළින් කළ ඉල්ලීම්වලට අවසර දුන්නා. ඒ හා සමානව, මෙම ඉල්ලීමට ඉඩදීම සඳහා තවත් පොලිස් නිලධාරීන් බඳවා ගැනීමට අපි පළමුව අවසර ගත යුතුයි.” යැයි ලේකම්වරයා පෙන්වාදෙයි.

භෞමික සහ ක්‍රියාකාරී අංශ කිහිපයකින් සමන්විත පොලිස් දෙපාර්තමේන්තුව ප්‍රධාන වශයෙන් අපරාධ සහ මාර්ග නීති ක්‍රියාත්මක කිරීමේ වගකීම දරයි.

මේ වනවිට රට පුරා පොලිස් ස්ථාන 600කට අධික සංඛ්‍යාවක් පවතින අතර ඒවායේ සේවය කරන නිලධාරීන් සංඛ්‍යාව 84,000කට අධිකය.

මේ අතර, මහජන ආරක්‍ෂක ඇමැති ටිරාන් අලස් පසුගියදා ප්‍රකාශ කළේ මේ වනවිට ආසන්න වශයෙන් පොලිස් නිලධාරීන් 20,000ක පමණ හිඟයක් පවතින බවයි.

නිලධාරීන් විශ‍්‍රාම යෑමත්, නිලධාරීන් සැළකිව යුතු පිරිසක් සේවයෙන් ඉවත්වීමත්, ඇතැමුන් ආබාධිතභාවය හේතුවෙන් සේවයෙන් ඉවත්වීමත් මෙම හිඟයට හේතුවී ඇති බව ඔහු පැවසීය.

එම හිඟයට පිළියම් යෙදීම සඳහා පොලිස් නිලධාරීන් 2000ක් බඳවා ගන්නා බවත්, ඉතිරි පුරප්පාඩු පසුව පිරවීමට කටයුතු කරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

(The Morning)