August 24, 2026

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේගේ රැඳවුම් නියෝගය තවදුරටත් දීර්ඝ නොකරන ලෙස ඉල්ලමින් ඔහුගේ මව විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

තම පුතු වසර 37ක් තිස්සේ යුද හමුදාවේ සේවය කරමින් රට වෙනුවෙන් සිය තරුණ කාලය සහ පවුල කැපකළ බව පෙන්වා දෙන ඇය, වයෝවෘද්ධ මවක් ලෙස ඔහු මෙලෙස රැඳවුම් භාරයේ සිටිනු දැකීම දැඩි වේදනාවක් බවයි සඳහන් කරයි.

කිසිදු විමර්ශනයක් නතර කරන ලෙස ඉල්ලා නොසිටින අතර චෝදනා තිබේ නම් සාක්ෂි මත පදනම්ව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටින ඇය, රැඳවුම යන්න සාක්ෂිවලට ආදේශකයක් නොවිය යුතු බව අවධාරණය කරයි.

විශේෂ වරප්‍රසාදයක් නොව යුක්තිය සහ මනුෂ්‍යත්වය පූර්වාදර්ශ කරගනිමින් තම පුතුට නිදහසේ නීතියට මුහුණ දීමට අවස්ථාව ලබාදෙන ලෙසත්, ජනාධිපතිවරයා හමුවීමට අවස්ථාවක් ලබාදෙන ලෙසත් ඇය වැඩිදුරටත් ඉල්ලා සිටියි.