March 23, 2026

ඉන්දියාවේ සිකිම් ප්‍රාන්තයේ හිටපු මහඇමති පවන් කුමාර් චැම්ලින් අභිබවා යමින්, ඉන්දියාවේ වැඩිම කාලයක් රජයක ප්‍රධානියා ලෙස කටයුතු කළ පුද්ගලයා බවට පත්වෙමින් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඓතිහාසික වාර්තාවක් පිහිටුවා තිබේ.

ගුජරාට් මහඇමති ලෙස සහ අග්‍රාමාත්‍යවරයා ලෙස සිය ධූර කාලය තුළ දින 8,931ක් රජයේ ප්‍රධානියා ලෙස කටයුතු කර ඇති මෝදි, චැම්ලින් සතු වූ දින 8,930ක වාර්තාව මෙසේ අභිබවා ගොස් ඇත.

දශක ගණනාවක අඛණ්ඩ මහජන සේවය සහ නායකත්වය විදහා දක්වන මෙම සන්ධිස්ථානය ඉන්දීය ඉතිහාසයේ වැදගත් මොහොතක් සනිටුහන් කරයි.

අග්‍රාමාත්‍ය මෝදි මීට පෙර ගුජරාට් ප්‍රාන්තයේ වැඩිම කාලයක් සේවය කළ මහඇමතිවරයා වූ අතර, මහඇමතිවරයකු ලෙස වැඩිම පූර්ව පළපුරුද්දක් සහිතව අග්‍රාමාත්‍ය ධූරයට පත් වූ පුද්ගලයා ද ඔහු වේ.

නිදහසින් පසු උපත ලැබූ පළමු ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වන ඔහු, 2014, 2019 සහ 2024 යන වසරවල පැවැති ලෝක් සභා මැතිවරණ තුනකදී අඛණ්ඩව සිය පක්ෂය ජයග්‍රහණය කරා මෙහෙයවීය.

පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී, රජයේ ප්‍රධානියා ලෙස සිය ධූර කාලයේ 25 වැනි වසරට පා තබද්දී අග්‍රාමාත්‍යවරයා ඉන්දීය ජනතාවට සිය ස්තුතිය පුදකළේය.

2001 වසරේ ගුජරාට් මහ ඇමති ලෙස දිවුරුම් දීමේ සිට සිය ගමන් මඟ සිහිපත් කරමින් අග්‍රාමාත්‍යවරයා පවසා ඇත්තේ, ජනතාවගේ ජීවිත නඟාසිටුවීමට සහ ජාතික ප්‍රගතියට දායක වීමට තමන් නිරන්තරයෙන් වෙහෙස වූ බවයි.

විනාශකාරී භූමිකම්පාවක්, සුළි කුණාටු, නියඟයන් සහ දේශපාලන අස්ථාවරත්වයකින් ගුජරාටය පීඩා විඳි ඉතා අසීරු තත්වයක් මධ්‍යයේ තමන් ධූරයට පත් වූ බව ද ඔහු සඳහන් කළේය.

මෙම අභියෝග මගින් නව ජවයකින් සහ බලාපොරොත්තුවකින් යුතුව ප්‍රාන්තය යළි ගොඩනැගීමට තම අධිෂ්ඨානය ශක්තිමත් වූ බව අග්‍රාමාත්‍ය මෝදි පැවසීය.

පෞද්ගලික මතකයක් අවදි කරමින් ඔහු කියාසිටියේ, සැමවිටම දුප්පතුන් වෙනුවෙන් වැඩකරන ලෙසත්, කිසිවිටෙකත් අල්ලස් ලබානොගන්නා ලෙසත් තම මව තමාට අවවාද කළ බවත්, එම මූලධර්ම තම පොදු ජීවිතයට මගපෙන්වූ බවත්ය.