August 16, 2026

මහනුවර ජාතික රෝහලේ රෝග විනිශ්චය සහ ප්‍රතිකාර සේවා ඉහළ නැංවීමේ පියවරක් ලෙස රුපියල් මිලියන 620 ක් වටිනා අතිනවීන වෛද්‍ය උපකරණ පද්ධති තුනක් රෝහල් පද්ධතියට එක්කර තිබේ.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්සගේ ප්‍රධානත්වයෙන් සහ නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණිගේ සහභාගීත්වයෙන් අගෝස්තු 15 වැනිදා මෙම නව පහසුකම් ජනතා අයිතියට පත්කෙරිණි.

ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍ය ආධාර සහිත සෞඛ්‍ය පද්ධති නැංවීමේ ව්‍යාපෘතිය යටතේ ලැබී ඇති මෙම උපකරණ අතරට රුපියල් මිලියන 250 ක කැතීටර්කරණ රසායනාගාරයක් (Cath Lab), රුපියල් මිලියන 180 ක මැමෝග්‍රැෆි (Mammography) ඒකකයක් සහ රුපියල් මිලියන 190 ක සීටී ස්කෑනර් (CT Scanner) පද්ධතියක් ඇතුළත් වේ. මෙහිදී ස්ථාපිත කළ මැමෝග්‍රැෆි පද්ධතිය ශ්‍රී ලංකාවේ ඇති අතිනවීනතම තාක්ෂණයෙන් යුත් යන්ත්‍ර 5 න් එකකි.

මෙම අවස්ථාවට එක්වෙමින් අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළේ, මහනුවර ජාතික රෝහලේ පිළිකා සහ හදිසි අනතුරු ප්‍රතිකාර ඒකකවල ඉදිකිරීම් ඇතුළුව රුපියල් බිලියන 8 කට වැඩි සංවර්ධන ව්‍යාපෘති මේ වන විට ක්‍රියාත්මක වන බවයි.

දිවයිනේ දෙවැනි ජාතික රෝහල වන මහනුවර රෝහල විශාල ජනගහනයකට තෘතීයික සෞඛ්‍ය සේවා සපයන බැවින්, වැඩිම රෝගීන් සංඛ්‍යාවක් පෝලිම්වල රැඳී සිටින රෝහලක් බව අමාත්‍යවරයා පැවසීය.

මෙම නව උපකරණ මගින් එම පෝලිම් කෙටි කරමින් කාර්යක්ෂම සේවාවක් ලබාදීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

2026 වසර තුළ දිවයින පුරා රෝහල්වල කැතීටර්කරණ රසායනාගාර 16 ක් ස්ථාපනය කිරීමේ වැඩසටහනටද මෙය අයත් වේ.

ඇඳන් 2,800 කින් සමන්විත මහනුවර ජාතික රෝහලේ සේවාවන් මෙමගින් තවදුරටත් ශක්තිමත් වනු ඇත.