May 24, 2026

කොයිම්බතූර් ප්‍රදේශයේදී 10 හැවිරිදි දැරියක පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කඩිනම් සහ දැඩි විමර්ශනයක් පවත්වන ලෙස නියෝග කළ බව තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය සී. ජෝසප් විජේ සෙනසුරාදා (23) ප්‍රකාශ කළේය.

එමෙන්ම කාන්තාවන්ට සහ දරුවන්ට එරෙහිව අපරාධ සිදුකරන අයට නීතිය හමුවේ දැඩි දඬුවම් විඳීමට සිදුවන බවට ද ඔහු සහතික විය.

මෙම සිදුවීම “වේදනාකාරී සහ කම්පන සහගත” එකක් ලෙස විස්තර කළ මහඇමති විජේ, මෙවැනි “අමානුෂික සහ සමාව දිය නොහැකි අපරාධ” සමාජය තුළ කිසිසේත්ම පිළිගත නොහැකි බව සඳහන් කළේය.

ශෝකයට පත් පවුලේ සාමාජිකයන් වෙත සිය කණගාටුව පළකළ ප්‍රධාන අමාත්‍යවරයා, දරුවා අහිමිවීම සම්බන්ධයෙන් ඔවුන් විඳින දරාගත නොහැකි දුක තමන් ද බෙදාගන්නා බව පැවසීය.

මෙම සිදුවීමට සම්බන්ධයෙන් මේ වන විට පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ප්‍රකාශ කළ විජේ, කඩිනම් විමර්ශනයක් පවත්වා වහාම චෝදනා පත්‍ර ගොනුකිරීමට අවශ්‍ය සියලු පියවර ගන්නා ලෙස පොලිසියට උපදෙස් දී ඇති බව ද සඳහන් කළේය.

“කාන්තාවන්ට සහ දරුවන්ට එරෙහිව සිදුවන හිංසනයන්ට සම්බන්ධ අයට දැඩි දඬුවම් පැමිණවීම තහවුරු කිරීම සඳහා තමිල්නාඩු රජය දැඩිව ක්‍රියා කරනවා. ඒ සඳහා අවශ්‍ය සියලුම කඩිනම් පියවර ගන්නවා,” යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.