November 12, 2026

ආර්ථික දුෂ්කරතා අවම කිරීම සහ දිළිඳු හා අන්ත දිළිඳු ජන කොටස්වල සමාජ ආරක්ෂණය තහවුරු කිරීම සඳහා ‘අස්වැසුම’ ප්‍රතිලාභ අඛණ්ඩව ලබාදීමටත්, අනෙකුත් සමාජ ආරක්ෂණ දීමනා සඳහාත් 2027 වර්ෂය වෙනුවෙන් රුපියල් බිලියන 230ක මුදලක් වෙන්කර තිබේ.

වකුගඩු රෝගීන්ගේ දීමනාව ඉහළට: වකුගඩු රෝගීන් සඳහා ලබා දෙන මාසික දීමනාව රුපියල් 10,000 සිට රුපියල් 12,500 දක්වා රුපියල් 2,500කින් ඉහළ නංවා ඇත.

ආබාධ සහිත පුද්ගලයන්ගේ දීමනාව ඉහළට: ආබාධ සහිත පුද්ගලයන් සඳහා ලබාදෙන මාසික දීමනාව ද රුපියල් 10,000 සිට රුපියල් 12,500 දක්වා රුපියල් 2,500කින් වැඩිකර තිබේ.

‘ප්‍රජා ශක්ති’ ජාතික ව්‍යාපාරය: දිළිඳුකම තුරන් කිරීම කෙරෙහි ප්‍රමුඛ අවධානය යොමු කරමින් ‘ප්‍රජා ශක්ති’ ජාතික ව්‍යාපාරය යටතේ දීපව්‍යාප්තව ඒකාබද්ධ ග්‍රාමීය සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් මිලියන 25,000ක් වෙන්කර ඇත.

පවුල් සවිබල ගැන්වීමේ වැඩසටහන: ආසියානු සංවර්ධන බැංකුව සහ ලෝක බැංකුව මගින් අරමුදල් සපයන ලද ව්‍යාපෘතිවල සහාය ඇතිව ක්‍රියාත්මක කළ නියමු ව්‍යාපෘතියකට අනුව, හැකියාවන් සහිත සුදුසුකම් ලත් පවුල් ක්‍රමානුකූලව සවිබල ගැන්වීමේ වැඩසටහන සඳහා රුපියල් මිලියන 4,500ක් වෙන්කර තිබේ.

දරුවන්ගේ පෞරුෂ සංවර්ධනය: අවදානමට ලක්විය හැකි දරුවන්ගේ ආරක්ෂාව, සෞඛ්‍යය, අධ්‍යාපනය සහ මානසික යහපැවැත්ම තහවුරු කිරීමේ අරමුණින්, පවුල් කේන්ද්‍රීය ප්‍රවේශයක් හරහා දරුවන්ගේ පරිපූර්ණ පෞරුෂ සංවර්ධනය වෙනුවෙන් රුපියල් මිලියන 182ක් වෙන්කර ඇත.

ආබාධ සහිත ප්‍රජාව සඳහා විශේෂ ඒකක: ආබාධ සහිත පුද්ගලයන්ගේ ප්‍රජාව වෙනුවෙන් සෑම අමාත්‍යාංශයකම, දෙපාර්තමේන්තුවකම සහ ප්‍රධාන රාජ්‍ය ආයතනයකම ‘ආබාධිතභාවය ඇතුළත් කර ගැනීමේ කේන්ද්‍රස්ථානයක්’ (Disability Inclusion Focal Point) ස්ථාපිත කිරීමට නියමිතය.