May 28, 2026

පසුගිය වසරේ සිදුවූ පාපන්දු සුපිරි තරුවක් වන ලියොනෙල් මෙසීගේ සංචාරය වෙනුවෙන් ඉන්දියාවේ ඉදිකරන ලද යෝධ ප්‍රතිමාවක් අනාරක්ෂිත වීම හේතුවෙන් (සුළඟට සෙලවෙමින් පවතින බැවින්) ඉවත් කිරීමට කටයුතු කරමින් ඇතැයි වාර්තා වේ.

බටහිර බෙංගාලයේ  කොල්කටා හි ස්ථාපිත මීටර් 21ක් උසැති මෙම ප්‍රතිමාව සුරක්ෂිත කිරීම සඳහා සේවකයින් එහි උරහිස් වටා ලණු දමමින් කඩිනමින් ක්‍රියාත්මක වී ඇත.

38 හැවිරිදි ආර්ජන්ටිනා සුපිරි තරුව ලෝක කුසලාන ශූරතාවය ඔසවාගෙන සිටින අයුරු නිරූපණය වන මෙම ප්‍රතිමාව නිරාවරණය කෙරුණේ පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී මෙසීගේ “GOAT Tour of India” සංචාරය අතරතුරදීය.

නමුත් බටහිර බෙංගාල ප්‍රාන්ත මන්ත්‍රී ශරද්වත් මුකර්ජි පැවසුවේ එය තවදුරටත් ආරක්ෂිත නොවන බවයි.

“කොල්කටා නගරයේ පිහිටි මෙම ආර්ජන්ටිනා පාපන්දු පුරාවෘත්තයේ ප්‍රතිමාව අනාරක්ෂිත තත්ත්වයක පවතින බව බටහිර බෙංගාල රජයේ ඉංජිනේරුවන් විසින් සොයාගෙන තිබෙනවා,” ඔහු පැවසීය. “ප්‍රතිමාව සුළඟට සෙලවෙන බව අපට නිරීක්ෂණය වුණා.”

කාර්යබහුල මාර්ගයකට ඉහළින් පිහිටා ඇති මෙම ප්‍රතිමාව සුරක්ෂිත කිරීම සඳහා සේවකයින් ලණු භාවිතා කරමින් උත්සාහයක නිරත විය.

මුකර්ජි පැවසුවේ මෙය කවදා ඉවත් කරනු ඇත්ද යන්න මෙතෙක් පැහැදිලි නැති බවයි. “එය ඉවත් කිරීම කියන තරම් පහසු නෑ,” නමුත් අපි හැකි ඉක්මනින් මෙම ප්‍රතිමාව ඉවත් කිරීමට සැලසුම් කරමින් සිටිනවා.”

ප්‍රතිමාව වෙනත් ස්ථානයක නැවත ස්ථාපනය කරන්නේද යන්න පිළිබඳව ඔහු කිසිවක් ප්‍රකාශ කළේ නැත.