March 1, 2024

තමන් පැමිණි පසු බදු අය කිරීම් නවතා දමන බවට පවසන පිරිසගෙන් බදු අයකිරීමෙන් තොරව රජයේ කටයුතු පවත්වාගෙන යනු ලබන ආකාරය විමසා සිටි කම්කරු හා විදේශ රැකියා ඇමැති මනූෂ නානායක්කාර, බදු අයනොකර රාජ්‍ය පාලනය ගෙනයෑමට මුදල් අතීතයේ නිවෙස් වලට පැමිණ රැගෙන ගිය රන් ආභරණ විකුණා සොයාගන්නවා දැයිද විමසා සිටියේය.

වර්තමානයේ පවතින ආර්ථික අර්බුදය වැලැක්වීමට අකමැත්තෙන් වුවද බදු අයකිරීමට සිදුව ඇති බවත්, රජය සහ ජනාධිපතිවරයා එවන් තීරණ ගනු ලබන්නේ පටු දේශපාලන අරමුණ පසෙකලා රටේ සංවර්ධන ඉලක්ක අත්පත් කරගැනීමේ අරමුණින් බවද ඇමැතිවරයා සඳහන් කළේය.

ඇමැතිවරයා මේබව සඳහන් කර සිටියේ මහනුවර බෝගම්බර් බන්ධනාගාර ක්‍රීඩාංගනයේ අද (1) ආරම්භ වූ ජයගමු ශ්‍රී ලංකා වැඩසටහනේ සමාරම්භක උත්සවයට එක්වූ අවස්ථාවේදීය.

මෙහිදී ඇමැතිවරයා මෙසේද පැවසීය.

“ඉතිහාසය පුරා දන්දුන්න ජාතියක් වුණ අපි, අද වෙනකොට බදු ගෙවන එක විශාල ප්‍රශ්නයක් කරගෙන තියෙනවා. ඇත්තටම බදු මුදල් ගෙවන්නේ මොකටද? අපි බදුගෙවන්නේ සෞඛ්‍ය, ජාතික ආරක්ෂාව, නිදහස් අධ්‍යාපනය ලබාදෙන්න, රාජ්‍ය යාන්ත්‍රනය නඩත්තු කිරීම ඇතුලු සියලුම දේවල් සඳහායි.

අද බදු වලට විරුද්ධව කෑගහනවා. අපිට බදු ගහන්නේ වුනේ පැවති තත්ත්වය වෙනස් කරන්නයි. අපි ඉතිහාසය පුරාවටම රාජකාරිය දේව කාරියටත් වඩා ඉහළින් කරපු පිරිසක්. එදා අපි රජයට කාසි වලින් බදු ගෙව්ව නැති නිසා රජයට රාජකාරි කළා.

ඒ දවස් වල වැව්, දාගැබ් හදන කොට ජනතාව ශ්‍රමයෙන් දායකත්වය දුන්නා. එහිදී වුනේ රට හදන වැඩේට ඔවුන් තමන්ට හැකි ආකාරයෙන් දායකත්වය ලබාදිමයි. එදා වගේ අපිට ශ්‍රමයෙන් දාකත්වය දෙන්න බැහැ. ඒ නිසයි අපි මේ විදිහට බදු ගෙවීම කරන්නේ.

ඉතින් කවුරු හරි කියනවා නම් අපි ආවොත් බදු ගන්නේ නැහැ කියලා. ඒ අයගෙන් අපි අහන්න කැමතියි, බදු ගන්නේ නැතිව රට කරන්නේ ඒ කාලයේ අරගෙන ගිය රත්තරන් බඩු වලින්ද කියලා.

ජනාධිපතිවරණයක් තියෙන අවස්ථාවක බදු ගහන එක අපිට ඉතාම අවාසිදායක දෙයක්. මොකද බදු අය කලාම රාජ්‍ය නිලධාරීන් ඇතුලුව බදු ගෙවන සියලුදෙනාම අපිත් එක්ක තරහා වෙනවා.

ඒත් අපි මේ තීරණ ගන්නේ මේ රට නැවත වතාවක් කඩා වැටීම වැලැක්වීමටයි. දේශපාලනික වශයෙන් කොච්චර අවාසි වුනත් ජනාධිතිවරයා මේ තීන්දු තීරණ ගැනීම කරන්නේ මේ රට නොවැටී ඉදිරියට යන වැඩපිළිවෙල හදන්නයි.”