August 7, 2023

දුම්වැටිවල අනතුරු ඇඟවීම් සටහන් කිරීම කැනඩාව අනිවාර්ය කර තිබේ.

අඟහරුවාදා(හෙට) සිට මෙම නව රෙගුලාසි බලාත්මක ය.

ඒ අනුව, 2024 ජූලි මස වන විට නිෂ්පාදකයන් විසින් තමන් විකුණනු ලබන සියලු ම විශාල ප්‍රමාණයේ දුම්වැටියක් මතම අනතුරු ඇඟවීම් සටහන් කරන බවට සහතික විය යුතු බවට කැනඩාව නියෝග කර ඇත.

2025 අප්‍රේල් මස වන විට සියලු ම සාමාන්‍ය ප්‍රමාණයේ දුම්වැටි සහ ටිපින් කඩදාසි සහ ටියුබ් සහිත කුඩා සුරුට්ටුවල ද මෙම අනතුරු ඇඟවීම් සටහන් කළ යුතුව තිබේ.

තරුණ තරුණියන් දුම්පානයට පෙළඹීම වැළැක්වීමට සහ දැනටමත් දුම් පානය කරන්නන්ට එය අත්හැරීමට දිරිගැන්වීම සඳහා සෑම දුම්වැටියක් මතම අනතුරු ඇඟවීමේ සටහන් මුද්‍රණය කිරීම ආරම්භ කරන පළමු රට බවට කැනඩාව පත්වනු ඇත.

ඉංග්‍රීසි සහ ප්‍රංශ භාෂාවෙන් ලියැවෙන මෙම අනතුරු ඇඟවීමේ සටහන්වල “දුම්වැටි පිළිකා ඇති කරයි” සහ “සෑම දුම් ඉරීමක් ම විෂ සහිත යි” වැනි වාක්‍ය ඛණ්ඩ ඇතුළත් වේ.

ලබන වසරේ සිට, කැනේඩියානුවන්ට මෙම නව අනතුරු ඇඟවීමේ ලේබල දැකගත හැකි වනු ඇත.

මෙම පියවර 2035 වසර වන විට දුම්කොළ භාවිතය 5%ට වඩා පහළ දැමීමට කැනඩාව ගන්නා උත්සහයේ කොටසක් වන අතර එය සිදු වන්නේ, දින 75ක් පුරාවට මහජනයා දැනුවත් කිරීම උදෙසා පසුගිය වසරේදී දියත් කරන ලද වැඩසටහනින් පසුව ය.

කැනඩාව 1989 වසරේ සිට දුම්වැටි ඇසුරුම් මත අනතුරු ඇඟවීමේ ලේබල් මුද්‍රණය කිරීම අනිවාර්ය කර තිබුණු අතර, 2000 වසරේදී ඔවුහු දුම්කොළ නිෂ්පාදන ඇසුරුම් මත රූපමය අනතුරු ඇඟවීම් අනිවාර්යයෙන් ඇතුළත් කළ යුතු බවට වූ ක්‍රමවේදයකට ද අනුගත වූහ.

(BBC සිංහල)