July 20, 2026

තම ගවයන් විසින් අනෙක් පාර්ශවයට අයත් එළවළු වගාවක් විනාශ කිරීම සම්බන්ධයෙන් ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් හුංගම ප්‍රදේශයේදී පුද්ගලයෙකු කපාකොටා ඝාතනය කර තිබේ.

මියගිය පුද්ගලයාගේ ගවයන් විසින් සැකකරුට අයත් වගාවක් විනාශ කර තිබූ අතර, ඒ වෙනුවෙන් වන්දි මුදලක් ගෙවීම සඳහා ඔහු සැකකරුගේ නිවස වෙත ගොස් ඇත.

එහිදී වන්දි මුදල් පිළිබඳව සාකච්ඡා කරමින් සිටියදී ඇති වූ බහින්බස් වීමක් අවසානයේදී පහරදීමක් දක්වා දුරදිග ගොස් තිබේ.

එම අවස්ථාවේදී සැකකරු සහ ඔහුගේ සහෝදරයා එකතු වී වන්දි ගෙවීමට පැමිණි පුද්ගලයාට මාරාන්තික ලෙස කපා කොටා ඇත.

පහරකෑමෙන් බරපතළ තුවාල ලැබූ මෙම පුද්ගලයා රෝහල්ගත කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඝාතනය සිදුකිරීමෙන් පසු ප්‍රදේශයෙන් පළාගොස් ඇති සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීම සඳහා හුංගම පොලිසිය විසින් විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇත.