August 25, 2026

විෂවර්ග, අබිං සහ අන්තරායදායක ඖෂධ වර්ග ආඥාපනත සංශෝධනය කරමින් 2026 අංක 61 සහ 62 දරන පනත් කෙටුම්පත් දෙක රජය විසින් ගැසට් කර තිබේ.

අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාරගේ උපදෙස් පරිදි සකස් කළ මෙමගින් මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් පවතින නීති සහ පරිපාලනමය ගැටලු රැසකට විසඳුම් සපයා ඇත.

ඒ අනුව, හෙරොයින්, කොකේන් ඇතුළු මත්ද්‍රව්‍ය මෙන්ම මෙත්ඇම්පිටමින් (අයිස්) නිෂ්පාදනය කිරීම ද මරණීය දණ්ඩනය හෝ ජීවිතාන්තය දක්වා වූ සිරදඬුවම් නියම කළ හැකි වරදක් බවට පත්කර තිබේ.

තවද, රසපරීක්ෂක වාර්තාවල ප්‍රමාදය නිසා සැකකරුවන් දීර්ඝ කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිටීම වැළැක්වීමට ඇප සීමාව සංශෝධනය කර ඇත. මීට පෙර පැවති ශුද්ධ බර ග්‍රෑම් 10 සීමාව ග්‍රෑම් 100 දක්වා ඉහළ නංවා ඇති අතර, ග්‍රෑම් 100ට අඩු නඩු සඳහා අභියාචනාධිකරණයට යෑමෙන් තොරව මහාධිකරණයෙන් ඇප ඉල්ලීමට අවස්ථාව හිමිවේ.

එසේම, දැනට රසපරීක්ෂක වාර්තාවක් සඳහා හිමිවන මාස 12ක කාලය මාස 2 දක්වා අඩුකර ඇත.

අත්අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍ය නඩු අවසන් වන තෙක් තබාගැනීමෙන් සිදුවන අයථා භාවිතයන් වැළැක්වීමට, සාම්පලයක් පමණක් තබාගෙන ඉතිරි තොගය මහේස්ත්‍රාත් අධීක්ෂණය යටතේ සති දෙකක් ඇතුළත විනාශ කිරීමට බලය පැවරේ.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදීම වීඩියෝ සහ ඡායාරූප මගින් දෘශ්‍ය සාක්ෂි තබාගැනීම පොලිසිය, රේගුව සහ සුරාබදු නිලධාරීන්ට අනිවාර්ය කර ඇත.

අධිකරණ භාරයේ ඇති මත්ද්‍රව්‍ය නැවත සමාජගත වීම වැළැක්වීම සහ නීති පද්ධතිය කෙරෙහි මහජන විශ්වාසය තහවුරු කිරීම මෙම නව නීති සම්පාදනයේ ප්‍රධාන අරමුණයි.