September 12, 2026

නීතිවිරෝධී කටයුතු සඳහා ජංගම දුරකථන සිම්පත් (SIM Cards) භාවිත කිරීම වැළැක්වීමේ අරමුණින්, නව සිම්පත් ලබාගැනීමේදී සජීවී ඡායාරූප (Live Photograph) මගින් තහවුරු කිරීම ඇතුළුව සිම්පත් ලියාපදිංචි කිරීමේ කොන්දේසි දැඩි කිරීමට රජය සූදානම් වේ.

මෑත කාලයේදී නීතිවිරෝධී කටයුතු සඳහා සිම්පත් භාවිත කිරීම ඉහළ ගොස් ඇති බවට පොලිසිය සහ ආරක්ෂක අමාත්‍යාංශය ඇතුළු නීතිය බලගන්වන ආයතන විසින් කරුණු පෙන්වා දී ඇති බව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්, එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) බන්දුල හේරත් පවසයි.

ශ්‍රී ලංකාව තුළ දැනට සක්‍රීය සිම්පත් සබඳතා මිලියන 30 කට ආසන්න සංඛ්‍යාවක් පවතින අතර, නව පාරිභෝගිකයන් සඳහා වඩාත් ශක්තිමත් හඳුනාගැනීමේ ක්‍රමවේදයක් හඳුන්වාදෙන බව හේරත් අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.

යෝජිත නව ක්‍රමවේදය යටතේ, නව සිම්පතක් ලබා ගන්නා පුද්ගලයකු ලියාපදිංචි වීමේ සහ සත්‍යාපනය කිරීමේ ක්‍රියාවලියේ කොටසක් ලෙස සජීවී ඡායාරූපයක් (Live photo) ලබා දීම අනිවාර්ය වේ.

මෙම පියවර මූලික වශයෙන් සිම්පත් අවභාවිත කිරීම වැළැක්වීම සඳහා ගන්නා අතර, එමගින් සාමාන්‍ය පාරිභෝගිකයන්ට කිසිදු බාධාවක් සිදුනොවන බව අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

වත්මන් ක්‍රමය යටතේ එක් ජාතික හැඳුනුම්පතක් භාවිත කරමින් එක් ජංගම දුරකථන ජාලයකින් සිම්පත් 5ක් දක්වා ලබාගත හැකි බව ඔහු පෙන්වාදෙයි.

ඒ අනුව ජංගම දුරකථන ජාල මෙහෙයුම්කරුවන් තිදෙනාගෙන්ම එක් පුද්ගලයකුට එකම හැඳුනුම්පත භාවිත කර සිම්පත් 15ක් දක්වා ලබාගැනීමේ හැකියාව පවතී.

මේ අතර, පවත්නා දුරකථන අංකය වෙනස් නොකර වෙනත් සේවා සම්පාදක ජාලයකට මාරු වීමට පාරිභෝගිකයින්ට අවස්ථාව සලසන ‘අංක අතේ ගෙන යාමේ හැකියාව’ (Number Portability) ශ්‍රී ලංකාවට හඳුන්වා දීමේ කටයුතු ද ඉදිරියට සිදුවන බව හේරත් මහතාඅධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වසර කිහිපයකට පෙර මේ පිළිබඳ කටයුතු ආරම්භ කළ අතර, මෙහෙයුම්කරුවන් සමඟ සාකච්ඡා කිරීම සහ අදාළ සේවාව මෙහෙයවීම සඳහා ‘ලංකා නම්බර් පෝටබිලිටි සර්විසස් (ගැරන්ටි) ලිමිටඩ්’ ආයතනය පිහිටුවීම ද ඊට ඇතුළත් විය.

මෙහෙයුම්කරුවන් විසින් අවශ්‍ය පද්ධති සහ ජාල යාවත්කාලීන කිරීම් අවසන් වූ පසු මෙම සේවාව ආරම්භ කළ හැකි බව කොමිෂන් සභාව මීට පෙර ප්‍රකාශ කර බි.

එසේම, රජයේ සහාය ලබන යටිතල පහසුකම් හරහා ඉදිරි වසර තුන ඇතුළත විදුලි සංදේශ පහසුකම් අඩු ප්‍රදේශවල සන්නිවේදන ආවරණය ඉහළ නැංවීමට රජය සැලසුම් කර ඇති බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

තවද, ශ්‍රී ලංකාව විසින් 2025 වසරේදී 5G (5th Generation)තාක්ෂණය හඳුන්වාදුන් බවද ඔහු වැඩිදුරටත් සිහිපත් කරයි.