July 4, 2025

ජාතික බදු සතිය වන ‘බදු ශක්ති’ වැඩසටහනට සමගාමීව තම සාමාජිකයන් සඳහා නීතිවිරෝධී දැනුවත් කිරීමේ වැඩසටහනක් සංවිධානය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මත්පැන් බලපත්‍රලාභීන්ගේ සංගමයට සුරාබදු ප්‍රධානියා දෝෂාරෝපණය කකර ඇත.

එසේම එම උත්සවයට අනුග්‍රහය දැක්වූ ප්‍රමුඛ පෙළේ මත්පැන් සමාගමක් ඒ වෙනුවට තම වෙළඳ නාම ප්‍රවර්ධනය කර ඇති බවද ඔහු පවසා ඇත.

ජුනි 14 වැනි දින ශ්‍රී ලංකා මත්පැන් බලපත්‍රලාභීන්ගේ සංගමය විසින් සංවිධානය කරන ලද මෙම බදු පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනට සිය ආයතනයේ කිසිදු සම්බන්ධයක් නොමැති බව සුරාබදු දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජෙනරාල් යූ.එල්. උදය කුමාර පෙරේරා ජනමාධ්‍ය වෙත පවසා ඇත.

එසේම විෂය භාර මුදල් අමාත්‍යාංශය විසින් ඔවුන්ට ඊට සහභාගී නොවන ලෙස උපදෙස් දී තිබූ බවද ඔහු සඳහන් කරයි.

ජාතික බදු සතිය පිළිබඳව තම සාමාජිකයන් දැනුවත් කිරීම සඳහා සංවිධානය කරන ලද විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනක් සුරාබදු ප්‍රධානියා වර්ජනය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මත්පැන් සංගමය පසුගිය සතියේ නිවේදනයක් නිකුත් කළේය.

මෙයට ප්‍රතිචාර වශයෙන් සුරාබදු කොමසාරිස් ජෙනරාල්වරයා පවසා ඇත්තේ, රජයේ නිලධාරීන් ලෙස ඔවුන් දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය (NATA) පනත පැහැදිලිවම උල්ලංඝනය කර ඇති ඕනෑම තෙවැනි පාර්ශවීය සංවිධානයක් විසින් සංවිධානය කරන ලද උත්සවවලට සහභාගී වීමට බැඳී නොමැති බවයි.

මීගමුවේ ජනප්‍රිය තරු පන්තියේ හෝටලයක සංවිධානය කරන ලද විශේෂ බදු දැනුවත් කිරීමේ වැඩසටහන පිටුපස ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස රටේ ප්‍රමුඛ පෙළේ මත්පැන් නිෂ්පාදන සමාගමක් කටයුතු කරන බවට තොරතුරු ලැබී ඇති බවත්, ඊට සහභාගී වූවන් සඳහා කොක්ටේල් සහ දිවා ආහාරය පිළිගැන්වූ බවත් ඔහු පවසා ඇත.

“ජාතික බදු සතිය පිළිබඳව මත්පැන් බලපත්‍රලාභීන් දැනුවත් කිරීමට නොව, මධ්‍යසාර පාන ප්‍රවර්ධනය කිරීමට පවත්වන ලද මෙම වැඩසටහනට සහභාගී නොවීම ගැන ADIC ශ්‍රී ලංකා (මධ්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය) ප්‍රධානියා පවා අපට ප්‍රශංසා කළේය,” යැයි උදය කුමාර පෙරේරා වැඩිදුරටත් පවසා ඇත.