August 20, 2025

ආයෝජන ප්‍රවර්ධන හිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධනට සහ ආයෝජන මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් ජයන්ත එදිරිසිංහට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවරා ඇති නඩුවේ පූර්ව නඩු විභාගය සැප්තැම්බර් 7 වැනිදා කැඳවීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ.

ලක්ෂ්මන් යාපා අබේවර්ධන ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙස කටයුතු කරන සමයේ රජයට රුපියල් මිලියන 1.7කට අධික අලාභයක් සිදුකළ බවට අල්ලස් කොමිසම විසින් මෙම නඩුව පවරා ඇත.

එම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් අබේරත්න ඉදිරියේ කැඳවා තිබිණි.

අද පැවති නඩු විභාගයේදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනීසිටි නීතීඥවරයා අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කරමින් අධිචෝදනා පත්‍රයේ සංශෝධන කිහිපයක් සිදුකිරීමට අවසර ඉල්ලා සිටියේය.

ඒ අනුව අදාළ අධිචෝදනා පත්‍රය සංශෝධනය කිරීමට අල්ලස් කොමිසමට අධිකරණය අවසර ලබාදී ඇත.

ඉන් අනතුරුව අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනීසිටි නීතීඥවරයා විත්තියේ නීතිඥවරුන් වෙත අධිචෝදනා පත්‍රයට අදාළ ලිපි ලේඛන ඇතුළත් සීඩී තැටියක් ලබා දී තිබේ.

එම අවස්ථාවේදී විත්තිකරු වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතීඥ සංජය රාජරත්නම් කියාසිටියේ, එම ලේඛන මුද්‍රිත පිටපත් ලෙස ලබාදෙන්නේ නම් සුදුසු බවයි.

ඊට ප්‍රතිචාර දක්වමින් අල්ලස් කොමිසමේ නීතීඥවරයා ප්‍රකාශ කළේ, මෙම නඩුවට අදාළ ඇමුණුම් ලෙස ඉදිරිපත් කර ඇති ලිපි ලේඛන විශාල ප්‍රමාණයක් තිබූ බැවින් මෙම ලේඛන සංයුක්ත තැටියක් ආකාරයෙන් ලබාදුන් බවයි.