April 10, 2024

ශ්‍රී ලංකාවේ ශ්‍රම බලකායේ සහභාගීත්ව අනුපාතය 2023 දී අවම මට්ටමකට ළඟා වී ඇති ශ්‍රම බලකා සමීක්ෂණයෙන් හෙළි වී තිබේ.

ශ්‍රම බලකා සමීක්ෂණය යනු ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් පවත්වනු ලබන ඉතා වැදගත් නිත්‍ය සමීක්ෂණයකි.

මෑතකදී ප්‍රකාශයට පත්කරන ලද අදාළ සමීක්ෂණ වාර්තාවේ දැක්වෙන්නේ 2023 දී ශ්‍රම බලකා සහභාගීත්ව අනුපාතය 2022 දී වාර්තා වූ සියයට 49.8 සිට සියයට 48.6 දක්වා අඩු වී ඇති බවය.

2021 සිට ශ්‍රම බලකා සහභාගිත්ව අනුපාතය පවතින්නේ සියයට 50 සීමාවට වඩා අඩු මට්ටමකය.

ශ්‍රම බලකායේ සහභාගීත්ව අනුපාතය යනු වැඩ කරන හෝ සක්‍රීයව රැකියාවක් කරන ජනගහනයේ ප්‍රතිශතයයි.

2023 දී පිරිමි ශ්‍රම බලකා සහභාගීත්ව අනුපාතය සියයට 70.5 සිට සියයට 68.6 දක්වා පෙර වසරට වඩා පහත වැටුණු අතර කාන්තා ශ්‍රම බලකා සහභාගීත්ව අනුපාතය එම කාලසීමාව තුළ සියයට 32.1 සිට සියයට 31.3 දක්වා පහත වැටී තිබේ.

මේ අතර, නිරපේක්ෂ වශයෙන්, රැකියා නියුක්ත ජනගහනය 2023 දී 137,821කින් පහළගොස් මිලියන 8ට වඩා අඩු වී ඇති අතර, පිරිමි සහ කාන්තා සේවා නියුක්ත ජනගහනය 66,402කින් සහ පුද්ගලයන් 71,412කින් අඩු වී තිබේ.

සේවා අංශයේ ශ්‍රම බලකාය පුද්ගලයන් 47,445කින් වර්ධනය වූ අතර කෘෂිකාර්මික සහ කර්මාන්ත යන අංශ දෙකෙහිම රැකියා අඩු වී තිබේ.

සේවා අංශය මේ වනවිට සමස්ත සේවා නියුක්තියෙන් සියයට 48.4ක් වන අතර එය වසරකට පෙර සියයට 47ක් විය.

විරැකියා අනුපාතය සියයට 4.7ක් වූ අගය එම වසර තුළ වෙනස් වී නැත.