July 9, 2023

යුරෝපා සංගමයේ තීරු බදු සහන යෝජනා ක්‍රමය (GSP+) නැවත ලබා ගැනීම සඳහා වන ප්‍රධාන අවශ්‍යතාවලින් එකක් ලෙස නීතිවිරෝධී සහ නියාමනය නොකළ (IUU) ධීවර ක්‍රම මෙන්ම ධීවර සම්පත් කළමනාකරණය නියාමනය කිරීම සඳහා ශ්‍රී ලංකාව නව නීති සම්පාදනය කිරීමට නියමිතය.

නව නීති සම්පාදනය කිරීමට රජය පියවර ගෙන ඇත්තේ, ඉදිරි දස අවුරුදු කාලය සඳහා, 2024 ජනවාරි 01 සිට බලාත්මක වීමට අපේක්ෂිත නව GSP රෙගුලාසි පැනවීමෙන් පසුවය.

යුරෝපා සංගමයේ වෙළඳ සහනවලින් ප්‍රතිලාභ ලබන රටවල් අතර සිටි ශ්‍රී ලංකාව වැනි රටවලට මෙම යෝජනා ක්‍රමයට නැවත අයදුම් කිරීමට වසර දෙකක කාලයක් ලබාදී ඇත.

ධීවර ඇමැති ඩග්ලස් දේවානන්ද පෙන්වාදෙන ආකාරයට, 1996 අංක 2 දරන ධීවර හා ජලජ සම්පත් පනත සංශෝධනය කිරීම සඳහා ප්‍රකාශයට පත් කරන ලද නව පනත් කෙටුම්පත මඟින් ශ්‍රී ලංකාවේ මුහුදු සීමාවේ නීති විරෝධී(IUU) ධීවර කටයුතුවල යෙදීමට කිසිදු පුද්ගලයෙකුට ඉඩ නොදෙන බව සහතික කර ඇත.

එමෙන්ම එවැනි යාත්‍රාවල ධීවර බලපත්‍ර අවලංගු කිරීමට හෝ අත්හිටුවීමට ද නව නීති ඔස්සේ ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට බලතල පවරා ඇත.

පනත් කෙටුම්පත් ප්‍රකාශයට පත් කර සති තුනක් ඇතුළත ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් නොකළහොත් ඉදිරි පාර්ලිමේන්තු සැසිවාරයේදී දෙවැනි වර කියවීමට කටයුතු කරන බව ඇමැතිවරයා සඳහන් කරයි.

මසුන් ඇල්ලීම සම්බන්ධයෙන් විදේශ අමාත්‍යාංශයේ දී මැයි මාසයේදී පැවති ශ්‍රී ලංකාව සහ යුරෝපා සංගමය අතර ඒකාබද්ධ කොමිසමේ 25 වැනි සැසිවාරයේදී ඉන්දියානු සාගර ටූනා කොමිසමේ (IOTC) සහයෝගීතාව පිළිබඳව සාකච්ඡා කර තිබේ.

2024 වසරේ බ්‍රසල්ස්හි පැවැත්වෙන මීළඟ ඒකාබද්ධ කොමිෂන් සභා රැස්වීමේදී හෝ ඊට පෙර ප්‍රගතියක් ලබා ගැනීම සඳහා ක්‍රියාකාරී කරුණු මාලාවක් හඳුනා ගැනීම ඇතුළුව 25 වන සැසියේ සාකච්ඡා මත පදනම්ව පසු විපරම් ක්‍රියාමාර්ග ගැනීමට දෙපාර්ශවය එහිදී එකඟ වූ බව විදේශ අමාත්‍යාංශය ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් කියා ඇත.

2020-2022 අවසාන යුරෝපා සංගමයේ GSP+ අධීක්ෂණ වාර්තාව ඉදිරි මාසවලදී නිකුත් කිරීමට අපේක්ෂා කරන බව යුරෝපා සංගමය සඳහන් කරයි.