March 9, 2024

කැනඩාවේ ඔටාවා නගරයේදී ශ්‍රී ලාංකිකයන් 06 දෙනකු සමූල ඝාතනයට ලක්වූ නිවසේ හිමිකරු අනාවරණයක් සිදුකර තිබේ.

ඔහු පවසා ඇත්තේ, ඝාතනයේ ප්‍රධාන සැකකරු වන 19 හැවිරිදි ශ්‍රී ලාංකික සිසුවා ඇතුළු තවත් පුද්ගලයකු සිය නිවසේ පදිංචිව සිටියා යැයි තමන් නොදැන සිටි බවයි.

හර්පීත් චාබ්රා (Harpreet Chhabra) නමැති අදාළ නිවසේ හිමිකරු මේ වනවිට මෙක්සිකෝවේ සිටින අතර ඔහු එහි සිට කැනේඩියානු ජනමාධ්‍ය වෙත අදහස් දක්වා තිබේ.

ඒ, 35 හැවිරිදි දර්ශනී ඒකනායක සහ ඇගේ දරුවන් සිව්දෙනා ඉකුත් බදාදා රාත්‍රියේ හර්පීත් චාබ්රා (Harpreet Chhabra) අයත් ඔටාවාහි නිවස තුළ මියගොස් ඇති බව අනාවරණ වී දිනකට පසුව ඔහු මෙම අණාවරණය සිදු කර ඇත.

එමෙන්ම හර්පීත් චාබ්රා (Harpreet Chhabra) නමැති අදාළ නිවසේ හිමිකරු පවසා ඇත්තේ, පසුගිය ජුනි හෝ ජූලි මාසයේ සිට එම ශ්‍රී ලාංකික පවුලට ඔහුගේ නිවස බදු පදනම මත ලබා දී තිබූ බවයි.

එමෙන්ම නිවස ලබා ගත් ශ්‍රී ලාංකික යුවළට අලුත උපන් බිළිඳෙකු සිටින බව හෝ වෙනත් අය ද නිවසේ ජීවත් වන බව තමන් නොදැන සිටි බව ඔහු පවසා තිබේ.

ඉකුත් බ්‍රහස්පතින්දා උදෑසන 9ට පමණ තමන් ගුවන් තොටුපළේ සිටියදී තමාට පළමුව පොලිසියෙන් ඇමතුමක් ලැබුණු බව චබ්‍රා පවසා ඇත.

එම පුවත අසා තමන් මහත් කම්පනයට පත්වූ බවත් ඔහු පවසා තිබේ.

මේ අතර බරපතල තුවාල ලබා මේ වනවිට රෝහල් ගත කර සිටින විපතට පත් ශ්‍රී ලාංකික පවුලේ පියා වන ධනුෂ්ක වික්‍රමසිංහ නමැත්තා ඔහුගේ පවුලේ සාමාජිකයන් කිහිපදෙනෙකුට කැනඩාවට පැමිණීම සඳහා වීසා ලබාදීමට උත්සාහ කරමින් සිටින බව කැනඩාවේ පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය පවසයි.

අදාළ පුද්ගලගේ පියාට සහ සහෝදරයාට වීසා ලබාගැනීමට උපකාර කිරීමට කොන්සියුලර් නිලධාරීන් කටයුතු කරමින් සිටින බව ඔටාවාහි පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ උපදේශක ලෂින්කා දම්මුල්ලගේ පවසයි.

කැනඩාවේ ඔටාවා නගරයේදී ශ්‍රී ලාංකිකයින් 06 දෙනකු ඉකුත් බදාදා රාත්‍රියේ සමූල ඝාතනයට ලක්විය.

එලෙස මියගිය පිරිස අතර 35 හැවිරිදි කාන්තාවක්, ඇගේ දරුවන් තිදෙනා සහ 40 හැවිරිදි තවත් ශ්‍රී ලාංකිකයකු වේ.

ඝාතනය සම්බන්ධයෙන් සැකපිට පොලිසිය විසින් 19 හැවිරිදි ශ්‍රී ලාංකික සිසුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.