September 12, 2025

ගම්පොළ නගර මධ්‍යයේ පිහිටි රජයට අයත් පර්චස් 129 ක්ද් භූමිය සහ එහි පිහිටි ගොඩනැගිලි 03 ක් අනවසරයෙන් භුක්ති විඳිමින් සිටි පුද්ගලයකු එම ස්ථානයෙන් නෙරපා තිබේ.

එලෙස අනවසරයෙන් රැඳී සිටි අනුරාධ ලංකා ජයරත්න නමැත්තාට එරෙහිව ගම්පොළ දිසා විනිසුරු දුමින්ද මුදුන්කොටුව එම ස්ථානයෙන් ඉවත්වීමේ නියෝගය ලබා දුන්නේ ඉකුත් 27 වැනිදාය.

ඒ අනුව ගම්පොළ දිසා අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරිය එම අධිකරණ නියෝගය ක්‍රියාත්මක කර තිබිණි.

රජයට අයත් ඉඩමක රජයේ වියදමින් ඉදිවූ සංස්කෘතික මධ්‍යස්ථානයක් ඇතුළු මෙම දේපළ 2001 වසරේ සිට අනවසර භුක්තියට නතුව තිබේ.

එම අධිකරණ නියෝගය ක්‍රියාත්මක කිරීම සඳහා නිලධාරීන් එම පරිශ්‍රය වෙත ගොස් තිබූ අතර ඒ වනවිට එහි අනවසරයෙන් භුක්තිය ලබාගෙන සිටි තැනැත්තා සිට නොමැති අතර ඒ වෙනුවට ගම්පොළ ජාතික උරුමය නමැති සංවිධානයක් සමග බදු ගිවිසුමකට එළඹ සංස්කෘතික මධ්‍යස්ථානය පරිහරණය කරමින් සිටි තැනැත්තෙකි.

ඔහු එම ස්ථානය ව්‍යාපාරික් ස්ථානයක් ලෙස පවත්වා ගෙන ගොස් තිබූ අතර ඒ සඳහා ගම්පොළ ජාතික උරුමය නමැති සංවිධානය සමග බදු ගිවිසුමකට එළඹ ඇත්තේ 2017 වසරේදීය.

ගිවිසුම අනුව මාසිකව ජාතික උරුමය නමැති සංවිධානය රුපියල් 40,000 ක මුදලක් කුලිය ලෙස අයකර ගෙන තිබේ.

ඒ අනුව එම සංවිධානය එම කුලිය ලබාගනිමින් මේ වනවිට උපයා ඇති ආදායම රුපියල් ලක්ෂ 40 කට ආසන්නය.

එහෙත් එම මුදල් රජයට හිමිවී නොමැත.

පොදු දේපළ අයුතු ලෙස භාවිත කිරීමට එරෙහිව ක්‍රියාමාර්ග නොගනිමින් 2001 වසරේ සිට 2023 වසර දක්වා උඩපළාත ප්‍රාදේශීය ලේකම් ධූරය දැරූ නිලධාරීන් සිදුකර ඇත්තේ පොදු දේපළ අපහරණයකට ආධාර අනුබල ලබාදීමය.

එම නිලධාරීන් අතරින් දෙදෙනෙකු මේ වනවිට මහනුවර දිස්ත්‍රික්කයේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඉහළ පරිපාලන තනතුරු දරයි.

මෙම මහජන දේපළ රජයට අත්කර ගැනීමට බාධා නොතකා රාජකාරි වගකීම ඉටුකළ අංගම්මන බටහිර ග්‍රාමනිලධාරිවරයා අදාළ ඉඩමේ සහ ගොඩනැගිලිවල හිමිකම රාජකාරී වශයෙන් භාරගෙන තිබේ.