
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
හිටපු අමාත්‍ය විමල් වීරවංශ සම්බන්ධ නඩුවක් වෙනුවෙන් කිරුළපන පොලිසියේ සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයාට අධිකරණය හමුවේ පෙනී සිට කරුණු ඉදිරිපත් කරන ලෙස නොතීසි නිකුත් කරන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම නියෝග කර තිබේ.
විමල් වීරවංශ සහ තවත් හය දෙනෙකුට එරෙහිව පවරා ඇති අදාළ නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය මාර්තු 9 වැනිදා නැවත කැඳවීමට ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
2016 දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ එවක මහ කොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් කුමරුගේ ශ්‍රී ලංකා සංචාරයට විරෝධය පළ කරමින් කොළඹ එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට මාර්ග අවහිර කරමින් සහ විරෝධතාවක් පැවැත්වීමෙන් මහජන අපහසුතාවක් ඇති කිරීමේ චෝදනා මත නඩුව ගොනුකර ඇත.
හයවැනි සහ හත්වැනි සාක්ෂිකරුවෝ සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ අධිකරණය හමුවේ සාක්ෂි දුන්හ.
සිද්ධිය වූ දින පිටකොටුව සිට පිළියන්දල සහ පිටකොටුව සිට හෝමාගම දක්වා බස් රථ ධාවනය කළ බස් රථ රියදුරන් දෙදෙනෙකු මෙලෙස සාක්ෂි දී තිබිණි.
ඔවුන් දෙදෙනා සාක්ෂි දෙමින් කියා සිටියේ සැකකරුවන් ප්‍රධාන මාර්ගය අවහිර වන පරිදි පැවැත්වූ විරෝධතාව හේතුවෙන් බස් සේවා ප්‍රමාද වූ අතර මගීන්ට බස් රථවලින් බැස යෑමට සිදු වූ බවයි.
මෙහිදී මහේස්ත්‍රාත්වරයා තවදුරටත් විමසා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් අතිරේක සාක්ෂිකරුවන් මෙතෙක් සාක්ෂි ලබා දී නැද්ද යන්නයි.
සැකකරුවන් අත්අඩංගුවට ගැනීම ඇතුළු මූලික විමර්ශන සම්බන්ධයෙන් විමර්ශන නිලධාරීන් මෙතෙක් සාක්ෂි ලබා දී නොමැති බව ද අධිකරණය හමුවේ අනාවරණ විය.
සිද්ධියට අදාළ මූලික විමර්ශනය සම්බන්ධයෙන් සාක්ෂි ලබාදීම සඳහා මෙතෙක් කිසිදු විමර්ශන නිලධාරියකු නම්කර නොමැති බව ද මහේස්ත්‍රාත්වරයා පොලිසියට දැනුම්දුන්නේය.
මෙම කාරණය සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, කිරුළපන පොලිසියේ සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයාට අධිකරණය හමුවේ පෙනී සිට මේ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කරන ලෙස නොතීසියක් නිකුත් කරන්නැයි නියෝග කළේය.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ එවක මහ කොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් කුමරුගේ ශ්‍රී ලංකා සංචාරයට විරෝධය පළ කරමින් 2016 පෙබරවාරි 6 වැනිදා තුම්මුල්ල මාර්ගය ඇතුළුව එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට පැවති විරෝධතාවක් හේතුවෙන් මාර්ග කිහිපයක් අවහිර වීම සම්බන්ධයෙන් කිරුළපන පොලිසිය විසින් මෙම නඩුව ගොනු කර තිබේ.
හිටපු අමාත්‍ය විමල් වීරවංශ සහ තවත් පිරිසක් විසින් මෙම විරෝධතාව සංවිධාන කර තිබිණි.
සැකකරුවන් වන හිටපු අමාත්‍ය විමල් වීරවංශ, වීරකුමාර දිසානායක, ජයන්ත සමරවීර, රොජර් සෙනෙවිරත්න සහ පියසිරි විජේනායක යන අය අධිකරණය හමුවේ පෙනී සිටියහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart