January 20, 2026

මහනුවර දිස්ත්‍රික්කයේ ගලහ, දෙල්තොට වත්ත ප්‍රදේශයේ නායයෑමක් සිදු වූ ස්ථානයකින් ඉහළ වටිනාකමින් යුතු විශාල පාෂාණයක් මතු වීම නිසා එම ස්ථානයට පොලිස් ආරක්ෂාව සැපයීමට පියවර ගෙන තිබේ.

ගලහ ශ්‍රී මුත්තු මාරිඅම්මාන් කෝවිල අසල තිබී මෙම වටිනා පාෂාණය හමු වූ බව පොලිසිය පැවසීය.

දිට්වා කුණාටුව සමග ප්‍රදේශයේ සිදුවූ නායයෑමකින් කෝවිලට දැඩි හානි සිදුව තිබූ අතර මෙම වටිනා පාෂාණය ඒ ආසන්නයෙන් හමු වී තිබේ.

ප්‍රදේශයේ පදිංචිකරුවන්ගෙන් එකතු කරන ලද අරමුදල් මගින් කෝවිල ඉදිකර ඇති අතර එය මෙම වසරේ මාර්තු මාසයේදී විවෘත කිරීමට නියමිතව තිබිණි.

කෙසේවෙතත්, නායයෑමෙන් ගොඩනැගිල්ලට බලපෑම් එල්ලවී තිබිණි.

වටිනා පාෂාණය නිල් සහ සුදු වර්ණයෙන් දිදුලන බවත්, එය පරීක්ෂා කර ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා ලෙස ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට දැනුම්දුන් බවත් පොලිසිය පැවසීය.

පොලිසිය එම ස්ථානයට දැඩි ආරක්ෂාවක් සපයා ඇත.