August 19, 2026

සිය පුත්‍රයාට එරෙහිව ඇති ඓතිහාසික ‘සඳගල’ පුරාවස්තුව සොරකම් කිරීමේ නඩුව කිහිපදෙනකු යොදවා අවසන් කිරීමට යන සියලු වියදම් තමන් දරන බව හිටපු ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල විමර්ශන නිලධාරීන්ට පවසා ඇතැයි කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම හමුවේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීහු ඊයේ (18) ප්‍රකාශ කළහ.

ජනමාධ්‍ය ඇමැතිවරයා ලෙස සිටියදී ජාතික රූපවාහිනි සංස්ථාවට සීමාව ඉක්මවා සේවකයන් බඳවා ගැනීම සහ ඓතිහාසික ‘සඳගල’ පුරාවස්තුව සොරකම් කිරීමේ චෝදනාවෙන් සිය පුත්‍රයා බේරාගැනීමට නිල බලය අයුතු ලෙස භාවිත කිරීම යන චෝදනා යටතේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම මඟින් හිටපු ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල ඊයේ (18) අවස්ථා දෙකකදී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළේය.

එම නඩුකරයන් 2ට අදාළව කෙහෙළිය රඹුක්වැල්ල ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම ඊයේ (18) නියෝග කළේය.

ඓතිහාසික ‘සඳගල’ පුරාවස්තුව සොරකම් කිරීමේ චෝදනාවෙන් ගලවාගැනීම සඳහා සිය නිල බලය අයුතු ලෙස භාවිත කළ බවට එල්ල වූ චෝදනාවට රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මතද, ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ අනුමත කාර්ය මණ්ඩල සීමාව ඉක්මවා සේවකයන් හයදෙනකු බඳවාගෙන ඔවුන් සිය පෞද්ගලික කාර්ය මණ්ඩලයට යොදවා ගැනීමෙන් දූෂණය නමැති වරද සිදුකළ බවට එල්ල වූ චෝදනාවට රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මතද මෙසේ හිටපු ඇමැතිවරයා මුදාහැරිණි.

එහිදී පළමුව සඳගල පුරාවස්තුව සොරකම් කිරීමට අදාළ නඩුව කැඳවුණු අතර මේ විමර්ශන කටයුතු මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එක්ව විමර්ශන සිදුකළ බව කොමිසම අධිකරණයට පැවසීය.

එම විමර්ශනය අතරතුරදී එවකට මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා, මහනුවර අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා සහ පල්ලෙකැලේ පොලිස් ස්ථානාධිපතිවරයා කෙහෙළිය රඹුක්වැල්ලගේ නිල වෙසට කැඳවා මෙම සිද්ධිය පිළිබඳව දෙවැනි සැකකරු වන කෙහෙළිය රඹුක්වැල්ල කරුණු විමසා ඇති බවද කොමිසම සඳහන් කළේය.

එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් මේ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන බව පොලිස් නිලධාරීන් හිටපු ඇමැතිවරයාට දැනුම් දී ඇති බවද අල්ලස් කොමිසම අධිකරණයට පැවසීය. සැකකරු එවකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ ප්‍රසාද් රණසිංහට දුරකතන ඇමතුමක් ලබාගෙන විමර්ශනයේ වත්මන් තත්ත්වය පිළිබඳව විමසා ඇති බවද කොමිසම සඳහන් කළේය.

එම අවස්ථාවේදී නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් “සර් බයවෙන්න එපා. සර්ගේ පුතාට මොකුත් වෙන්නේ නැහැ” යනුවෙන් ප්‍රකාශ කර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි අල්ලස් කොමිසම අධිකරණයට දැනුම්දුන්නේය.

එමෙන්ම රමිත් රඹුක්වැල්ලගෙන් මේ සම්බන්ධයෙන් කිසිදු ප්‍රකාශයක් හෝ සටහන් කරගෙන නොමැති බවත්, හිටපු අමාත්‍යවරයාගේ මහනුවර පිහිටි නිවෙසේ ‘සඳගල’ පුරාවස්තුව තිබෙන බවට තොරතුරු ලැබී තිබුණද එම නිවෙස පරීක්ෂා කිරීමට අවසර ලබාදී නොමැති බවත් කොමිසම අධිකරණය හමුවේ පැවසීය.

වැඩිදුරටත් කරුණු දැක්වූ අල්ලස් කොමිසමේ නිලධාරියා සඳහන් කළේ, මෙම සිද්ධියේ සැකකරුවකු හට හිටපු අමාත්‍යවරයා විසින් “මෙම නඩුව අවසන් කිරීමට කිහිපදෙනකු යොදවා කටයුතු කළ නොහැකිදැ”යි විමසා ඇති බව අල්ලස් කොමිසමේ නිලධාරීන් පැවසුවේය. ඒ සඳහා වැයවන සියලු වියදම් තමන් දරන බවද හිටපු අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇති බව කොමිසම අධිකරණයට දැනුම්දුන්නේය.

අනතුරුව හිටපු ඇමැතිවරයාගේ පුත්‍රයාව අධිකරණයට ඉදිරිපත් නොකර වෙනත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කර එක් අයකුට රුපියල් 1,500 බැගින් දඩ නියම කර එම නඩු කටයුත්ත අවසන් කර ඇති බවද අල්ලස් කොමිසම සඳහන් කළේය.

මෙම කරුණු අනුව සිය පුත්‍රයා එම චෝදනාවෙන් මුදාගැනීම සඳහා සිය නිල බලය අයුතු ලෙස භාවිත කිරීමෙන් හිටපු අමාත්‍යවරයා දූෂණය නමැති වරදක් සිදුකර ඇති බවට කොමිසම අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

ඒ අනුව සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසද අල්ලස් කොමිසම අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

සැකකරු වෙනුවෙන් පෙනීසිටි නීතිඥ කාංචන රත්වත්තේ කරුණු දක්වමින්, තම සේවාදායකයාට එරෙහිව නඩු 13ක් පවතින බවත්, ඔහු සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් අවස්ථා 81කදී අල්ලස් කොමිසමට පැමිණ ප්‍රකාශ ලබාදී ඇති බවත් සඳහන් කළේය.

එම කරුණු අනුව සැකකරු අධිකරණය හෝ අල්ලස් කොමිසම මඟහරින පුද්ගලයකු නොවන බව පැහැදිලි වන බැවින් ඔහු ඇප මත මුදාහරින ලෙස නීතිඥවරයා ඉල්ලා සිටියේය.

දෙපාර්ශ්වය ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට තරම් ප්‍රමාණවත් කරුණු ඉදිරිපත් වී නොමැති බව සඳහන් කරමින් ඔහු ඇප මත මුදාහැරීමට නියෝග කළේය.

ඒ අනුව රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත හිටපු අමාත්‍යවරයා මුදාහැරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාරදෙන ලෙසද නියෝග කළේය.

ඉන් අනතුරුව ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ අනුමත කාර්ය මණ්ඩල සීමාව ඉක්මවා සේවකයන් හයදෙනකු බඳවාගැනීම සම්බන්ධ නඩුවද කැඳවූ අතර එහිදි පෞද්ගලික කාර්ය මණ්ඩලය සඳහා අවශ්‍ය පුරප්පාඩු නොතිබියදී සේවකයන් හයදෙනකු ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවට බඳවාගෙන ඇති බවට හිටපු ඇමැතිවරයාට එරෙහිව චෝදනා එල්ල කළේය.

මෙලෙස බඳවාගෙන ඇති පිරිසට රියැදුරන් සිව්දෙනකු සහ කාර්යාල කාර්ය සහායකයන් දෙදෙනකු ඇතුළත් වන බව අල්ලස් කොමිසම අධිකරණයට ප්‍රකාශ කළේය.

එම සේවකයන් මීට පෙර අමාත්‍යවරයාගේ නිවෙසේ දේශපාලන හා පෞද්ගලික කටයුතුවල නිරතව සිටි පිරිසක් බවත්, අමාත්‍යවරයාගේ උපදෙස් මත ඔවුන් රූපවාහිනි සංස්ථාවට අයැදුම්පත් ඉදිරිපත් කර ඇති බවත් විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි කොමිසම පැවසීය.

පසුව අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම්වරයා විසින් රූපවාහිනි සංස්ථාවේ සභාපතිවරයා වෙත ලිපියක් යොමුකරමින් අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි එම පිරිස අමාත්‍ය කාර්ය මණ්ඩලයට අනුයුක්ත කරන ලෙස දැනුම් දී ඇති බව ප්‍රකාශ කළේය. අදාළ සේවකයන්ගේ වැටුප් හා දීමනා රූපවාහිනි සංස්ථාව මඟින් ගෙවීමට සලස්වා ඇති බවත්, එමඟින් රූපවාහිනි සංස්ථාවට රුපියල් එක්කෝටි හතළිස් තුන් ලක්ෂයක පමණ මූල්‍ය පාඩුවක් සිදුව ඇති බවත් අල්ලස් කොමිසම විසින් අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

මෙම බඳවාගැනීම් සම්බන්ධයෙන් රූපවාහිනි සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් කිහිපදෙනකුගෙන් තවදුරටත් ප්‍රකාශ ලබාගැනීමට නියමිත බවද අල්ලස් කොමිසම ප්‍රකාශ කළේය.

එමෙන්ම බඳවාගැනීම්වලට අදාළ ඇතැම් ලිපි ලේඛන රූපවාහිනි සංස්ථාවෙන් අස්ථානගත වී ඇති බවටද විමර්ශනවලදී අනාවරණය වී ඇති බව කොමිසම අධිකරණයට ප්‍රකාශ කළේය.

සැකකරු වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරුන් කරුණු දක්වමින් අදාළ සේවකයන් අමාත්‍යවරයාගේ පෞද්ගලික කටයුතු සඳහා නොව ආරක්ෂක සහ නිල රාජකාරි කටයුතු සඳහා යොදවා තිබූ බවට තර්ක කළේය.

තවද 2010 වසරේ නිකුත්කරන ලද චක්‍රලේඛයකට අනුව අමාත්‍යවරයකුට පුද්ගලයන් 15 දෙනකුගෙන් සමන්විත කාර්ය මණ්ඩලයක් පවත්වාගෙන යෑමට අවසර ඇති බවද විත්තිය අධිකරණය හමුවේ පෙන්වා දී ඇත.

දෙපාර්ශ්වය ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හිටපු අමාත්‍යවරයා රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත හා විදේශ ගමන් තහනම් කර මුදාහැරීමට නියෝග කළේය.

මෙම නඩුකරයන් 21දා නැවත කැඳවීමට නියමිතය.
(දිනමිණ)