August 26, 2026

මියගිය බවට පොලීසියෙන් නිල වශයෙන් දැනුම්දීමෙන් පසු, අවමංගල්‍ය කටයුතු සඳහා සියල්ල සූදානම් වෙමින් තිබියදී මියගියා යැයි කියූ පුද්ගලයා නිවසට පැමිණි පුවතක් ගල්ගමුව, කොහොබන්කුලම ගම්මානයෙන් වාර්තා වේ.

මෙසේ හදිසියේම සිය නිවසට පැමිණ ඇත්තේ ගල්ගමුව, කොහොබන්කුලම පදිංචි ඩී. එම්. කීර්තිසේන නැමැති අයයි.

වාරියපොල බන්ධනාගාරයේ රඳවා සිටි කීර්තිසේන බන්ධනාගාරය තුළදී මියගොස් ඇති බවට නාන්නේරිය පොලීසිය විසින් ඥාතීන්ට දැනුම් දී තිබිණි.

එම පණිවිඩයත් සමඟ දැඩි කම්පනයට පත් ඥාතීන් සහ ගම්වාසීන් එකමුතුව අවමංගල්‍ය කටයුතු සංවිධානය කිරීමට පියවර ගෙන තිබේ.

ගම්මානය පුරා අවමංගල්‍ය බැනර් සවිකර, පන්දලම් ගසා ආදාහන කටයුතු සඳහා සියල්ල ලෑස්ති කරමින් සිටි මොහොතක, සැවොම මවිතයට පත්කරමින් කීර්තිසේන පණපිටින් නිවසට පැමිණ ඇත.

තමන් වෙනුවෙන්ම සූදානම් වෙමින් තිබූ මළගෙදරටම ඔහු මෙසේ පැමිණීමත් සමඟ මුළු ගම්මානයම දැඩි ආන්දෝලනයකට මෙන්ම මවිතයට ද පත්ව ඇත.

බන්ධනාගාර සහ පොලිස් බලධාරීන්ගේ තොරතුරු හුවමාරුවේ පවතින මෙවැනි බරපතළ අඩුපාඩු පිළිබඳව ප්‍රදේශවාසීන් දැඩි විරෝධය පළකරන අතර, සිදුවූ මෙම විශාල තොරතුරු ව්‍යාකූලත්වය සම්බන්ධයෙන් වගකිවයුතු අංශ මඟින් වහාම පරීක්ෂණයක් පැවැත්විය යුතු බව ගම්වාසීහු වැඩිදුරටත් ඉල්ලා සිටිති.