August 21, 2023

ලංකා ප්‍රිමියර් ලිග් ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි අදියරේ ශුරතාව දිනා ගැනීමට බී ලව් කැන්ඩි සමත් විය.

කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දි පැවැති අවසන් මහා තරගයේදි දඹුල්ල අවුරා කණ්ඩායම කඩුලු 05කින් පරාජයට පත් කළ බි ලව් කැන්ඩි පළමුවරට ශූරතාවය දිනා ගැනීමට සමත් විය.

මීට පෙර පැවති අදියර තුනෙහිදීම ශූරතාව දිනාගත්තේ ජැෆ්නා කිංග්ස් විසින් වන අතර ඔවුන් මෙවර තරගාවලියේ අවසන් මහා තරගයට සුදුකම් ලබා ගැනීමට සමත් නොවීය.

ගෝල් ටයිටන්ස් සමග සෙනසුරාදා පැවති දෙවන සුදුසුකම් ලැබීමේ තරගයේදි නායක වනිදු හසරංග අබාධයකට ලක්වීම හේතුවෙන් අවසන් මහා තරගයේදී  නායකත්වයේ වගකීම අත්දැකීම් සහිත ඇන්ජලෝ මැතිව්ස්ට පැවරී තිබුණි.

කාසියේ වාසිය දිනගනිමින් පළමුව පන්දුවට පහරදුන් දඹුල්ල අවුරා නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 04ක් දැවි ලකුණු 147ක් රැස්කළහ.

ධනංජය ද සිල්වා ලකුණු 40ක් සහ සධීර සමරවික්‍රම ලකුණු 36ක් රැස්කිරීමට සමත් විය.

චතුරංග ද සිල්වා කඩුලු 2ක් දවා ගත්තේය.

ජයග්‍රහණය හඹා ගිය බී ලව් කැන්ඩි කණ්ඩායමට අවසන් පන්දුවාරයේදි  තරගය ජයගැනීමට ලකුණු 6ක් අවශ්‍යව තිබුණි.

එක් පන්දුවක් ඉතිරිව තිබියදීම තරගය ජය ගැනීමට බී ලව් කැන්ඩි සමත් විය.

බී ලව් කැන්ඩි ජයග්‍රහණය මත වැටී තිබුණු ඇන්ජලෝ මැතිව්ස්ගේ අත්දැකීම් සහිත බවේ සෙවනැල්ල බොහෝ දෙනාගේ ප්‍රශංසාවටත් ඇගයීමටත් ලක් විය.

තරගාවලිය පුරා කඩුලු 19ක්  ලබාගනිමින් වැඩිම කඩුලුලාභියා වූ වනිදු හසරංග ලකුණු 279ක් ලබා ගනිමින් වැඩිම ලකුණුලාභියා  ලෙස ද අභිෂේක ලැබීය.

එමෙන්ම තරගාවලිය පුරා වැඩිම හයේ පහර සංඛ්‍යාව සඳහා වන වාර්තාව ද ලියැවී තිබුණේ වනිඳුගේ නම ඉදිරියේය.

ලංකා ප්‍රිමියර් ලීග් අවසන් මහා තරගය නැරඹීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ද ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයට පැමිණ සිටිනු දක්නට ලැබුණි.