June 20, 2026

අරියාලෙයි සිත්තුපති චෙම්මිනි සමූහ සුසාන භූමියෙහි කැණිම් කටයුතු නිරීක්ෂණය කිරීම සදහා අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර ඊයේ (19) පස්වරුවේ එක්විය.

සමුහ සුසාන භූමියෙහි කැණිම් කටයුතු නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව ජනමාධ්‍ය වෙත අදහස් පළකරමින් අමාත්‍යවරයා මෙසේ සදහන් කළේය.

“චෙම්මිණි සමුහ සුසාන භූමියෙහි කැණිම් කටයුතු සාර්ථකව සිදුකෙරෙනවා. අතුරුදහන් වු පුද්ගලයින් සදහා වු කාර්යාලය සහාය ලබා නොදන බවට කරනු ලබන ප්‍රකාශ සම්පුර්ණයෙන්ම වෙනස්. ඒ වෙනුවෙන් අවශ්‍ය ප්‍රතිපාදන අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය ලබාදී තිබෙනවා. එහි කැණිම් කටයුතු සිදුකරනු ලබන ආකාරය නිරීක්ෂණය කරනු ලැබුවා. මෙහි කැණිම් කටයුතු සම්බන්ධයෙන් අපි සෑහිමකට පත්වෙනවා.මෙහි කැණිම් කටයුතු වේගවත් කරනු ලබන ආකාරය පිළිබදව ගරු මහෙස්ත්‍රාත්තුමා සමඟත් විශේෂඥයින් සමඟත් සාකච්ඡා කළා. මෙහි පරීක්ෂණ කටයුතු සිදු කරලා යුක්තිය සත්‍ය හොයලා මෙහි අවසානයක් ළගා කරන්න රජයට අවශ්‍යයි.”

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් කුමාර සෝමදේවගේ ප්‍රධානත්වයෙන් විශ්වවිද්‍යාල පුරාවිද්‍යා විද්‍යාර්ථින්, වෛද්‍යවරුන් ඇතුළු විශේෂඥයින් සමුහ සුසාන භූමියෙහි කැණිම් කටයුතු සිදුකරනු ලබයි.

සමුහ සුසාන භූමියෙහි කැණිම් කටයුතු අතුරුදහන් වු තැනැත්තන් සම්බන්ධයෙන් සිදුකරනු ලබන විමර්ශන සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් විසින් අසන ලද ප්‍රශ්න සඳහා ද අමාත්‍යවරයා පිළිතුරු ලබාදෙන ලදී.

යාපනය මහෙස්ත්‍රාත්වරයා, යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන කේ. ඉලන්කුමාරන්, රජීවන් ජය චන්ද්‍රමුර්තී, කොළඹ හිටපු අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය අජිත් තෙන්නකෝන්, අතුරුදහන් වු තැනැත්තන් පිළිබද කාර්යාලයේ සභාපති මහේෂ් කටුලන්ද යන අය සහ අතුරුදහන් වූ තැනැත්තන් පිළිබද කාර්යාලයේ නිලධාරීහු, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ නිලධාරීහු , නීතිඥවරු මෙම අවස්ථාවට එක්ව සිටියහ.