September 4, 2026

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ පුද්ගලික සමාගමක හිමිකරුවකු වන හේමන්ත ලලිත් ද සිල්වා යන සැකකරුවන් ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුවන්ගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම විසින් මෙම නියෝගය නිකුත් කළේය.

ඒ අනුව එක් එක් සැකකරු රුපියල් ලක්ෂ 25 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා සැකකරුවන්ගේ විදේශ ගමන් තහනම් කිරීමටත් නියෝග කළේය.

සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමෙන් වළකින ලෙසත් මෙහිදී මහේස්ත්‍රාත්වරයා සැකකරුවන්ට අවවාද කළේය.

අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ පොල්ගොල්ල, මහින්ද රාජපක්ෂ රඟහල සඳහා පුටු මිලදී ගැනීමේදී අවම මිල ගණන් ඉදිරිපත් කළ ආයතනයෙන් ඒවා මිලදී නොගෙන ඩිසයින් පොයින්ට් පුද්ගලික සමාගම නමැති ආයතනයෙන් ඒවා මිලදී ගැනීමට කටයුතු සැලසීම තුළින් රජයට රුපියල් 7,973,114.50 ක් පාඩු සිදු කර දූෂණය නමැති වරද සිදු කිරීම සහ ඊට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් සැකපිට මෙම සැකකරුවන් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇති බවයි.

විමර්ශන කටයුතු අවසන් කර නොමැති බැවින් මෙම සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ද අල්ලස් කොමිසම අධිකරණයෙන් ඉල්ලා තිබේ.

සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් සහ නීතිඥ රත්වත්තේ අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සැකකරුවන් විමර්ශනවලට පූර්ණ සහාය ලබාදී තිබෙන බව සඳහන් කළේය.

ඒ අනුව සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට තරම් කරුණු ඉදිරිපත් වී නොමැති බැවින් ඇප පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව මෙම සැකකරුවන් ඇප මත මුදා හරින ලෙස ද එම නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලීම් කළහ.

දෙපාර්ශවය ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ මෙම සැකකරුවන්ට එරෙහිව අල්ලස් පනතේ 70 වන වගන්තිය යටතේ වරදක් සිදුකළ බවට අධිකරණයට කරුණු වාර්තා කර තිබෙන බවයි.

කෙසේ වෙතත් ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමේදී ඇප පනත යටතේ මෙම සැකකරුවන්ගේ ඇප ඉල්ලීම් ප්‍රතික්ෂේප කිරීමට තරම් කරුණු ඉදිරිපත් වී නොමැති බැවින් සැකකරුවන් ඇප මත මුදා හැරීමට තීරණය කරන බව ද මහේස්ත්‍රත්වරයා සිය නියෝගයේ සඳහන් කළේය.

ඉන් අනතුරුව මෙම නඩුකරය නොවැම්බර් මස 17 වනදා කැඳවන ලෙසත් මහේස්ත්‍රාත්වරයා නියම කළේය.