May 13, 2025

ජපානයෙන් ආනයනය කෙරෙන වාහන සඳහා ශ්‍රී ලංකාව තුළ ඉහළ බදු පැනවීම පිළිබඳව මෙරට ජපාන තානාපති අකීයෝ ඉසෝමටා සිය කනස්සල්ල පළකර ඇත.

මෙරට බලධාරීන් සමග පැවැති සාකච්ඡාවකදී ඔහු පවසා ඇත්තේ, ජපානයෙන් ආනයනය කරන විද්‍යුත් වාහන සඳහා වෙනත් රටකින් ආනයනය කෙරෙන වාහනවලට සාපේක්ෂව ඉහළ බදු අයකරන බවයි.

එමෙන්ම ශ්‍රී ලංකාව ජපානය සමඟ නිදහස් වෙළඳ ගිවිසුමකට එළඹීම සම්බන්ධයෙන් සළකා බලන්නේ නම්, ජපානයෙන් ආනයනය කෙරෙන වාහන සඳහා ඉහළ බදු පැනවීම පිළිබඳව ද සාකච්ඡා කළ යුතු බව ඔහු පවසා තිබේ.

කෙසේවෙතත්, ජපානය ශ්‍රී ලංකාව සමඟ නිදහස් වෙළඳ ගිවිසුමකට යෝජනාවක් මෙතෙක් ඉදිරිපත් කර නොමැති බව‍ද ඔහු පවසා ඇත.

එමෙන්ම දෙරට අතර නිදහස් වෙළඳ ගිවිසුමක් යථාර්ථවාදී වන්නේ අන්‍යෝන්‍ය ප්‍රතිලාභ මත පමණක් බව ද තානාපතිවරයා පෙන්වාදෙයි.

එසේ නොමැති නම්, හුදෙක් දේශපාලන සංකේතාත්මක හේතූන් මත නිදහස් වෙළඳ ගිවිසුමක් සම්බන්ධයෙන් සළකා නොබලන බව ද තානාපතිවරයා පවසා තිබේ.

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පනවන ලද අන්‍යෝන්‍ය තීරුබදු සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී ජපානය ගත් ක්‍රියාමාර්ග පිළිබඳ පෙන්වාදී ඇති තානාපතිවරයා, මෙම ගැටලුව සම්බන්ධයෙන් ජපානය සහ එක්සත් ජනපදය අතර සාකච්ඡා-ද්විපාර්ශ්වික සාකච්ඡා සඳහා විෂයභාර අමාත්‍යවරයකු පත්කිරීමට තීරණය කළ බව ද පෙන්වාදී ඇත.