February 21, 2024

රට තුළ පවතින උණුසුම් කාලගුණික තත්ත්වයන් සැළකිල්ලට ගනිමින්, හිරු එළියට නිරාවරණයවීම අවම කරන ලෙසත්, නිතර නිතර දියර වර්ග පානය කරන ලෙසත්, වෛද්‍ය විශේෂඥයෝ ජනතාවට තරයේ අවවාද කරති.

කෘත්‍රිම පාන වර්ගවලින් බැහැරව ජලය, තැඹිලි වැනි ස්වාභාවික පාන වර්ග භාවිතය යෝග්‍ය බව ජ්‍යෙෂ්ඨ උපදේශක වෛද්‍ය ආනන්ද විජේවික්‍රම පවසයි.

අධික උෂ්ණත්වය හේතුවෙන් දරුවන්, ගැබිනි මවුවරුන්, වැඩිහිටියන් සහ විවිධ රෝග සඳහා ප්‍රතිකාර ගන්නා අය විජලනයවීමේ අවදානමක් පවතින බව වෛද්‍යවරයා සඳහන් කරයි.

මේ අනුව, අවදානමට ලක්ව සිටින අය හිරු එළියට නිරාවරණය වීම සීමා කළ යුතු අතර, විජලනය වළක්වා ගැනීම සඳහා සජලනය විය යුතු බවත්, වැඩිහිටියකු අවම වශයෙන් දිනකට ජලය ලීටර් 2.5 ක් පානය කළ යුතු බවත්, ඔහු පවසයි.

එමෙන්ම එළිමහන් ක්‍රියාකාරකම්වලින්, විශේෂයෙන් අත්‍යවශ්‍ය නොවන එළිමහන් ක්‍රියාකාරකම්වලින් ඈත්ව සිටින ලෙස ද ඔහු පාසල් සිසුන්ට උපදෙස් දී ඇත.

ඒ අනුව, දරුවන්ට ගෘහස්ථව හෝ සෙවණෙහි සෙල්ලම් කිරීමට ඉඩකඩ සැපයිය යුතු බවත්, කුඩා දරුවන් එළිමහනේ සිටින විට ආරක්ෂිත තොප්පි හෝ හිස්වැසුම් පැළඳීමට උනන්දු කළ යුතු බවත්, හෙතෙම වැඩිදුරටත් පවසයි.

පෙබරවාරි සිට මැයි දක්වා උණුසුම් කාලගුණයක් ඇතිවීම සාමාන්‍ය තත්ත්වයක් බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක සඳහන් කරයි.

කෙසේවෙතත්, ජනතාව ප්‍රවේශම් විය යුතු අතර, හිරු එළියට නිරාවරණය වීමෙන් වළකින්නැයි ඔහු උපදෙස් දී ඇත.

උණුසුම් කාලගුණයේ කාලසීමාව පිළිබඳව කළ විමසීමකට පිළිතුරු දෙමින් ඔහු පවසා ඇත්තේ, මෝසම් වැසි ආරම්භයත් සමඟ එය අප්‍රේල් දක්වා පවතිනු ඇතැයි අපේක්ෂා කරන බවයි.

එම නිසා මේ අතරතුර සුළු වර්ෂාපතනයක් ඇති වුවද, පවතින උණුසුම් කාලගුණික තත්ත්වයෙහි වෙනස්කම් ගෙන එන සැලකිය යුතු වර්ෂාපතනයක් අත්විඳීමට මාස දෙකකට වැඩි කාලයක් ගතවන බව ඔහු සඳහන් කරයි.

මේ අතර, උපරිම උෂ්ණත්වය ලෙස 35.6c ඊයේ කුරුණෑගලින් වාර්තා විය.