March 26, 2026

ඉරානයේ මීළඟ උත්තරීතර නායකයා ලෙස පත්වන ලෙස එරට නායකත්වයෙන් තමාට නිල නොවන ආරාධනයක් ලැබුණු බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබේ.

වොෂින්ටනයේ පැවති රිපබ්ලිකන් පක්ෂයේ අරමුදල් රැස්කිරීමේ උත්සවයකදී (NRCC fundraising dinner) ඔහු මෙම ප්‍රකාශය සිදුකර තිබේ.

ජනාධිපති ට්‍රම්ප් මෙහිදී ප්‍රකාශ කළේ “ස්තූතියි, නමුත් මට එය අවශ්‍ය නැහැ” යනුවෙන් පවසමින් තමා එම යෝජනාව ප්‍රතික්ෂේප කළ බවයි.

ඉරානය මෙම යුද්ධය අවසන් කිරීමට ඉතා දැඩි ලෙස කැමැත්තෙන් පසුවන බවත්, ඔවුන් මේ වන විටත් වොෂින්ටනය සමඟ රහසිගතව සාකච්ඡා පවත්වන බවත් ට්‍රම්ප් අවධාරණය කළේය.

ඉරාන බලධාරීන් මෙම සාකච්ඡා පිළිබඳව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමට බියවන්නේ, එසේ කළහොත් ඔවුන් තමන්ගේම ජනතාව අතින් හෝ ඇමරිකාව අතින් ඝාතනය වනු ඇතැයි පවතින බිය නිසා බව ඔහු වැඩිදුරටත් පැවසීය.

ඇමරිකානු සහ ඊශ්‍රායල හමුදා මෙහෙයුම් හමුවේ ඉරානයේ හිටපු උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි මියගොස් ඇති බවත්, ඉන් පසුව ඇති වූ නායකත්ව හිඩැස මධ්‍යයේ මෙම යෝජනා ඉදිරිපත් වූ බවත් වාර්තා වේ.

කෙසේවෙතත්, ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි ඇතුළු බලධාරීන් මෙම ප්‍රකාශයන් ප්‍රතික්ෂේප කර ඇති අතර, ඔවුන් ඇමරිකාව සමඟ කිසිදු නිල සාකච්ඡාවක නිරත නොවන බව අවධාරණය කර ඇත.