July 7, 2026

මීගමුව බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය සම්බන්ධයෙන් විමර්ශන කිහිපයක් ආරම්භ කර ඇති බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස තහවුරු කරයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ, මෙම සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු, නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු සහ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයෙකුගෙන් සමන්විත ස්වාධීන ත්‍රිපුද්ගල කමිටුවක් පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ බවයි.

මීට අමතරව මීගමුව පොලිසිය, කොළඹ අපරාධ කොට්ඨාසය (CCD), අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් ද වෙන වෙනම විමර්ශන පවත්වාගෙන යනු ලබන බව අමාත්‍යවරයා පැවසීය.

මෙම විමර්ශනවලින් අනාවරණය වන කරුණු මත පදනම්ව සිදුවීමට අදාළ සම්පූර්ණ පසුබිම අනාවරණය කර ගැනීමට හැකිවනු ඇතැයි අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

මෙම මාධ්‍ය හමුවට එක්වෙමින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ප්‍රසාද් හේමන්ත කුමාර ප්‍රකාශ කළේ, මෙම සිදුවීම සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුවට පෙර කිසිදු බුද්ධි තොරතුරක් ලැබී නොතිබූ බවයි.

කෙසේ වෙතත්, ඉරිදා (05) පස්වරුව වන විට රැඳවියන් නැවත ඔවුන්ගේ වාට්ටු වෙත යොමු කර සාමාන්‍ය කටයුතු ආරම්භ කිරීමෙන් පසු බන්ධනාගාර බලධාරීන් විසින් එහි තත්ත්වය පාලනය කර කළ බව ද බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් පැවසීය.