June 7, 2023

ජනමාධ්‍ය හමුවකදී ප්‍රහසන ශිල්පිනි නතාෂා එදිරිසූරිය අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ පුද්ගලයන් පස්දෙනකුට අධිකරණයට අපහාස කළ බවට චෝදනා එල්ල වී ඇති බව වාර්තා වේ.

ජනමාධ්‍යවේදීන් වන තරිඳු ජයවර්ධන සහ තරිඳු උඩවරගෙදර, නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර, සමාජ ක්‍රියාකාරීන් වන විදර්ශන කන්නන්ගර, බිට්‍රෝ ප්‍රනාන්දු යන පිරිස මෙම මාධ්‍ය හමුවේදී අදහස් දක්වා තිබිණි.

වාර්තා සඳහන් කරන ආකාරයට බුදුදහමට අපහාස වන අයුරින් ප්‍රකාශයන් කළ බව කියන නතාෂා එදිරිසූරියට එරෙහි නඩුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද විභාගයට ගත් අවස්ථාවේදී මෙම චෝදනා එල්ල වී තිබේ.

‘සිහල රාවය’ නම් සංවිධානයේ කැදවුම්කරු ප්‍රභාත් මධුභාෂණ වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා අධිකරණයට දන්වා ඇත්තේ නතාෂා එදිරිසූරිය අත්අඩංගුවට ගැනීමෙන් පසු මෙම පුද්ගලයන් විසින් පැවැත්වූ ජනමාධ්‍ය හමුව අධිකරණයට අපහාස කිරීමේ ක්‍රියාවක් බවයි.

ජනමාධ්‍ය සාකච්ඡාවේ ඡායාරූප ඉදිරිපත් කරමින් නීතිඥවරයා ප්‍රකාශ කර ඇත්තේ, නතාෂා එදිරිසූරිය සියලු චෝදනාවලින් නිදහස් කරන ලෙස මාධ්‍ය හමුවේදී කළ ඉල්ලීම අධිකරණයට අපහාස කිරීමේ ක්‍රියාවක් ලෙස සළකන බවයි.

මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇතත් මෙතෙක් කිසිදු පියවරක් ගෙන නොමැති බවද නීතිඥවරයා අධිකරණයට දන්වා ඇත.

ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ විත්තිකරුවන් පස්දෙනාගේ ප්‍රකාශ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම්දී තිබේ.

(NewsWire)