September 19, 2026

ශ්‍රී ලංකාව තුළ විභාග වන නඩුවලට අදාළව අවශ්‍ය කරන පුද්ගලයන් සොයාගැනීම සහ මෙරටට ගෙන්වා ගැනීමේ ප්‍රයත්නයන් තීව්‍ර කරමින්, අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමකට අනුව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට එරෙහිව අන්තර්ජාතික පොලිසිය (INTERPOL) හරහා ‘බ්ලූ නොටිස්’ (Blue Notice) නිවේදනයක් නිකුත් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල ‘ඩේලි මිරර්’ පුවත්පතට පවසා ඇත.

ශ්‍රී ලංකාවේ නීතිමය ක්‍රියාමාර්ගවලට මුහුණ දෙමින් විදේශයන්හි රැඳීසිටින හිටපු දේශපාලනඥයන් සහ අනෙකුත් සැකකරුවන් නීතිය හමුවට පැමිණවීම සඳහා රජය අන්තර්ජාතික නීති බලාත්මක කිරීමේ යාන්ත්‍රණයන් භාවිතා කරමින් සිටින බව අමාත්‍යවරයා සඳහන් කළේය.

බැසිල් රාජපක්ෂ දැනට ශ්‍රී ලංකාව තුළ අධිකරණ ක්‍රියාමාර්ගවලට මුහුණ දී සිටින අතර අවස්ථා කිහිපයකදීම අධිකරණය හමුවේ පෙනීසිටීමට අපොහොසත් වී තිබේ.

මාතර, එලියාකන්ද පාරේ බ්‍රවුන්ස් හිල් හි පිහිටි අක්කර 1.5 ක ඉඩමක් රුපියල් මිලියන 60 කට මිලදී ගැනීමට අදාළ නඩුවට පෙනී නොසිටීම හේතුවෙන් මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඉකුත් ජූලි මාසයේදී ඔහුට එරෙහිව නැවතත් වරෙන්තු නිකුත් කරන ලදී.

අදාළ අපරාධ විමර්ශනයට සම්බන්ධයෙන් ඔහුගේ වත්මන් තොරතුරු, වෙසෙන ස්ථානය හෝ ක්‍රියාකාරකම් පිළිබඳ තොරතුරු ලබා ගැනීම සඳහා අන්තර්ජාතික නීති බලාත්මක කිරීමේ බලධාරීන්ට හැකියාව ලැබෙන පරිදි මෙම ‘බ්ලූ නොටිස්’ නිවේදනය නිකුත් කර ඇති බව අමාත්‍යවරයා පැවසීය.

මෙම නඩුව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් ගොනුකර ඇත්තක් වන අතර, බැසිල් රාජපක්ෂ වෛද්‍ය ප්‍රතිකාර සඳහා විදේශගතව සිටින බව ඔහුගේ නීතිඥයින් මීට පෙර අධිකරණයට දැනුම් දී තිබිණි.

එහෙත් ඔහු දිගින් දිගටම අධිකරණය මගහැරීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව ක්‍රියාත්මක කරන ලෙස නියෝග කළේය.

අන්තර්ජාතික නීතිමය යාන්ත්‍රණයන් පැහැදිලි කර ඇති අමාත්‍යවරයා, ‘බ්ලූ නොටිස්’ සහ ‘රෙඩ් නොටිස්’ අතර වෙනස පෙන්වාදී ඇත. යම් සැකකරුවකු සිටින රට හෝ ලිපිනය පිළිබඳ තොරතුරු පවතින විට, අදාළ තැනැත්තා තම රටට අවශ්‍ය කරන බවට නිල වශයෙන් දැනුම් දීමට ‘බ්ලූ නොටිස්’ නිකුත් කරනු ලබයි. ඊට පටහැනිව, සිටින තැනක් ගැන කිසිදු හෝඩුවාවක් නැති සැකකරුවන් සඳහා ‘රෙඩ් නොටිස්’ (Red Notice) නිකුත් කෙරේ. ශ්‍රී ලංකාවේ ඉන්ටර්පෝල් ශාඛාව අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව හරහා ඍජුවම ක්‍රියාත්මක වේ.

පසුගිය කාලයේ දැරූ දේශපාලන තනතුරු නොසලකා, අපරාධ සහ අල්ලස් චෝදනාවලට සම්බන්ධයෙන් අවශ්‍ය කරන පුද්ගලයන් මෙරටට ගෙන්වා ගැනීමට රජය අවශ්‍ය අන්තර්ජාතික සහ නීතිමය පියවර ගන්නා බව අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කරයි.