November 28, 2025

රජයේ අඛණ්ඩ හදිසි ගංවතුර සහන මෙහෙයුම් සහ ප්‍රතිසාධන කටයුතු පිළිබඳව කොළඹ පිහිටි දූත මණ්ඩල ප්‍රධානීන් දැනුවත් කිරීම සඳහා අගමැතිනි හැරිණි අමරසුරිය විසින් අද, 2025 නොවැම්බර් 28 වන දින අග්‍රාමාත්‍ය කාර්යාලයේදී රාජ්‍යතාන්ත්‍රික ප්‍රජාව දැනුවත් කිරීමේ සාකච්ඡාවක් කැඳවීමට නියමිතය.

විදේශයන්හි පිහිටි ශ්‍රී ලංකා රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩලවල සියලුම දූත මණ්ඩල ප්‍රධානීන් සහ තනතුරු දරන්නන් මෙම රැස්වීමට මාර්ගගතව සම්බන්ධ වේ.

බලපෑමට ලක් වූ ප්‍රජාවන්ගේ ආරක්ෂාව සහතික කිරීම කෙරෙහි මෙම දැනුවත් කිරීමේදී අවධානය යොමුකෙරේ.

මෙම අභියෝගාත්මක කාලය තුළ කොළඹ පිහිටි බොහෝ රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩල ශ්‍රී ලංකා රජයට ඔවුන්ගේ සහයෝගීතාව ප්‍රකාශ කර ඇත.

මානුෂීය ආධාර සැපයීමේදී සහ අඛණ්ඩ සහන සහ ප්‍රතිසාධන වැඩසටහන් සඳහා දායකවීම සඳහා දූත මණ්ඩල ශ්‍රී ලංකා බලධාරීන් සමඟ සමීපව කටයුතු කිරීමට ඔවුන්ගේ සූදානම ප්‍රකාශ කර තිබේ.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි, විදේශ කටයුතු අමාත්‍යාංශය, විදේශයන්හි පිහිටි ශ්‍රී ලංකා රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩල සහ කොළඹ පිහිටි රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩල සමඟ සමස්ත සම්බන්ධීකරණය සඳහා හදිසි ප්‍රතිචාර ඒකකයක් ස්ථාපිත කර ඇත.