August 15, 2026

මන්නාරම් ද්‍රෝණියේ පිහිටි බ්ලොක් (කලාප) හතරක ඛනිජ තෙල් සහ ස්වාභාවික ගෑස් ගවේෂණය හා නිස්සාරණය වැනි ඉහළ පෙළේ සංවර්ධන කටයුතු සඳහා අන්තර්ජාතික සමාගම්වලින් ලංසු කැඳවීම මෙම මස අගදී සිදුකිරීමට රජය සූදානම් වන බව ‘ඩේලි මිරර්’ පුවත්පත වාර්තා කරයි.

දීර්ඝ කාලයක් තිස්සේ සැලසුම් අදියරේ පැවති මෙම පියවර අධිකරණමය ක්‍රියාමාර්ගයක් හේතුවෙන් නතර වී තිබිණි.

කෙසේවෙතත්, ටෙන්ඩර් කැඳවීමට තිබූ සියලුම නීතිමය බාධා මේ වන විට ඉවත් කර ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් ඩේලි මිරර් වෙත දැනගැනීමට ලැබී ඇත.

අන්තර්ජාතික ලංසු කැඳවීමේ ක්‍රියාවලිය කළමනාකරණය කිරීම සඳහා විශේෂඥ දැනුමක් සහිත උපදේශක ආයතනයක් තෝරාගැනීමට රජය මීට පෙරද ටෙන්ඩර් කැඳවා තිබිණි.

පාර්ලිමේන්තු ජනමාධ්‍ය ඒකකය විසින් 2021 දී නිකුත් කරන ලද ජනමාධ්‍ය නිවේදනයකට අනුව, මන්නාරම් ද්‍රෝණියේ ඇමරිකානු ඩොලර් බිලියන 267 ක පමණ වටිනාකමකින් යුත් තෙල් සහ ගෑස් සම්පත් පවතී.

එහි ඇති බ්ලොක් හතරක් මෙලෙස සංවර්ධනය සඳහා විවෘත කිරීමට නියමිතය.

ඉන්දියානු සමාගමක අනුබද්ධිත ආයතනයක් වන කෙයාන් ලංකා ලිමිටඩ් (Cairn Lanka Limited) ආයතනය 2011 දී මන්නාරම් ද්‍රෝණියේ ගවේෂණ ළිං දෙකක් හෑරූ අතර, එහිදී “බරකුඩා” සහ “දොරාඩෝ” යන ක්ෂේත්‍රවල ස්වාභාවික ගෑස් තැන්පතු සොයාගන්නා ලදී.

දේශීය ඉල්ලුම ඇති කිරීමේ උපාය මාර්ග ගොඩනැගීමට සහ වෙරළට ඔබ්බෙන් වන ස්වාභාවික ගෑස් වාණිජමය වශයෙන් ප්‍රයෝජනයට ගැනීමට ආයෝජකයන්ට අවස්ථාව සලසා දෙමින් ශ්‍රී ලංකාව 2020 සැප්තැම්බර් මාසයේදී ස්වාභාවික ගෑස් පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය ගැසට් කළේය.

ඊට අමතරව, ගවේෂණ සහ නිෂ්පාදන කටයුතු නියාමනය කිරීම සඳහා 2021 අංක 21 දරන ඛනිජ තෙල් සම්පත් පනත හඳුන්වාදෙන ලදී.

බටහිර ආසියානු කලාපයේ පවතින නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ දකුණු සහ ගිනිකොනදිග ආසියානු රටවල් මුහුදු තීරයේ තෙල් ගවේෂණය සඳහා ආයෝජනය කිරීමට පෙළඹී ඇත.

ඉන්දීය මධ්‍යම අමාත්‍ය මණ්ඩලය ද 2030-31 මුල්‍ය වර්ෂය දක්වා ඩොලර් බිලියන 8.83 ක මුළු අයවැය ප්‍රතිපාදන සහිතව “සමුද්‍ර මන්ථන්” ලෙස හැඳින්වෙන ජාතික වෙරළබඩ ගවේෂණ යෝජනා ක්‍රමය (National Offshore Exploration Scheme) අනුමත කළේය.

අගමැති නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන් පැවැති රජයේ රැස්වීමකදී ගත් මෙම තීරණය, ඉන්දියාවේ මුහුදු තීරයේ තෙල් සහ ගෑස් ගවේෂණය පුළුල් කිරීම අරමුණු කරගත් රජයේ මැදිහත්වීම සහිත වැඩසටහනක ආරම්භය සනිටුහන් කරයි.

මීට පෙර බංග්ලාදේශය ද තෙල් හා ගෑස් තැන්පතු ගවේෂණය සඳහා අන්තර්ජාතික සමාගම්වලින් ලංසු කැඳවා තිබිණි.