September 12, 2026

සංවිධානාත්මක අපරාධ කල්ලි විසින් තම ප්‍රතිවාදීන්ට තර්ජනය කිරීමට සහ ආරවුල් විසඳාගැනීමට අත්බෝම්බ භාවිත කිරීම වර්තමානයේ ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර, මෙසේ පැරණි හමුදාමය පුපුරන ද්‍රව්‍ය පහසුවෙන් ලබාගැනීමට හැකිවීමත්, ඒවායින් මහජනතාවට එල්ල වී ඇති තර්ජනයත් පිළිබඳව ආරක්ෂක අංශවල දැඩි අවධානය යොමු වී තිබේ.

ආරක්ෂක ආරංචි මාර්ගවලට අනුව ශ්‍රී ලංකාවේ කළු කඩයෙන් රුපියල් 10,000 ත් 20,000 ත් අතර මුදලකට මෙවැනි පුපුරන ද්‍රව්‍ය ලබාගැනීමට හැකියාව පවතින බව Daily Mirror පුවත්පත වාර්තා කරයි.

“හිටපු හමුදා සාමාජිකයන් සිටි ප්‍රදේශවල මෙලෙස වළදමා තිබූ අත්බෝම්බ තවමත් පවතින අතර, විවිධ මාර්ග ඔස්සේ මේවා ලබාගත හැකියි. යමකුට අත්බෝම්බයක් මිලදී ගැනීමට අවශ්‍ය නම්, එහි මුල් හිමිකරුගේ පවා දැනුවත්භාවයකින් තොරව රුපියල් 10,000 ත් 20,000 ත් අතර මුදලකට එය ලබාගැනීමට පුළුවන්” යැයි එම ආරංචි මාර්ග හෙළිකරයි.

ඊයේ දෙහිවල කව්ඩාන ප්‍රදේශයේදී අහිංසක දරුවන් දෙදෙනකුගේ ජීවිත අහිමි කරමින් සහ ඔවුන්ගේ පියාට බරපතල තුවාල සිදුකරමින් එල්ල වූ ප්‍රහාරයෙන් පසුව මෙම පුපුරන ද්‍රව්‍යවල ව්‍යාප්තිය කෙරෙහි දැඩි අවධානයක් යොමු වී ඇත.

පොලිස් විමර්ශනවලදී හෙළි වී ඇත්තේ අදාළ ප්‍රහාරයේ සැබෑ ඉලක්කය එම පවුල නොවන බවයි. පාතාලයේ අභ්‍යන්තර ආරවුලකට අදාළව අසල්වැසි නිවසකට එල්ල කිරීමට ගිය ප්‍රහාරයක් මෙසේ ඉලක්කය වැරදී මෙම නිවසට එල්ල වී තිබේ.

ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකු පවසා ඇත්තේ, අපරාධ කල්ලි විසින් මෙවැනි උපකරණ භාවිත කරනුයේ කෙළින්ම මරා දැමීමට වඩා බියගැන්වීමේ උපක්‍රමයක් ලෙස බවයි.

“ඔවුන් කරන්නේ යම් කෙනෙකු බිය ගන්වා පළායාමට බෝම්බයක් ගැසීමයි. මූලික වශයෙන් මෙය භාවිත කරන්නේ ප්‍රතිවාදී කල්ලිවල සාමාජිකයන්ට හෝ මත්ද්‍රව්‍ය සහ වෙනත් අපරාධ සම්බන්ධයෙන් ඇතිවන ආරවුල්වලදී අනික් පාර්ශ්වයන්ට තර්ජනය කිරීමටයි” යැයි එම නිලධාරියා පවසා ඇත.

සංවිධානාත්මක අපරාධ මර්දනයට පොලිසිය ක්‍රියාත්මක කරන මෙහෙයුම් හමුවේ ගිනිඅවි ලබා ගැනීම අපහසු වී ඇති බැවින්, ඇතැම් කල්ලි දේශීයව නිෂ්පාදිත ආයුධ සහ පුපුරන ද්‍රව්‍ය වෙත යොමු වී ඇති බව ආරක්ෂක ආරංචි මාර්ග පවසයි.

නීතිවිරෝධී ලෙස තබාගෙන සිටින පැරණි හමුදා අත්බෝම්බ පිළිබඳව විශේෂ අවධානයක් යොමු වී ඇති අතර, නිසි ලෙස සංරක්ෂණය කර ඇත්නම් වසර ගණනාවක් පැවතුණද ඒවා තවමත් අනතුරුදායක විය හැකි බව ආරක්ෂක නිලධාරීහු පවසති.

“බොහෝ විට ඔවුන් තම කල්ලියේම සාමාජිකයන් බියගැන්වීමට මෙය භාවිත කරනවා. උදාහරණයක් ලෙස තමන්ගේ මත්ද්‍රව්‍ය තොග වෙනත් අය අලෙවි කළ විට හෝ වෙනත් අයගෙන් කොන්ත්‍රාත් ලබාගත් විට, ඔවුන් බිය ගැන්වීම සඳහා මෙසේ බෝම්බයක් ගසා යනවා. දැනට ඔවුන් සතුව ගිනිඅවි නෑ. මෑත කාලයේ සිදුවූ වෙඩි තැබීම්වලදී පවා ඔවුන් භාවිත කළේ දේශීයව නිෂ්පාදිත ආයුධ හෝ නල තුවක්කුයි. ඒවා මෙහෙම හදලා එළියට ගන්න ඒව. ආයුධ සොයාගැනීම ඔවුන්ට ඉතා අමාරුයි” යැයි අදාළ නිලධාරියා වැඩිදුරටත් පවසා ඇත.

මෑතකදී සිදු වූ සිදුවීම්වලින් පෙන්නුම් කරන්නේ සංවිධානාත්මක අපරාධවලට අදාළ ආරවුල්වලදී බියගැන්වීමේ මූලික මෙවලමක් ලෙස පුපුරන ද්‍රව්‍ය භාවිතය වැඩි වී ඇති බවයි.

සැප්තැම්බර් 09 වැනි දින දෙහිවල කළුබෝවිල ප්‍රදේශයේ නිවසකට මෝටර් රථයකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු අත්බෝම්බයක් ගසා පළාගොස් තිබිණි. එම ප්‍රහාරයෙන් නිවසේ වීදුරුවලට හානි සිදු වූ අතර කිසිවකුටත් තුවාල සිදුනොවීය. ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ සමීපතමයකුට අයත් එම නිවසේ ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ සිට ඇත්තේ 56 හැවිරිදි කාන්තාවක් පමණි.

ඊට පෙර, අගෝස්තු 23 වැනි දින බොරැල්ල ලෙස්ලි රණගල මාවතේ පිහිටි නිවසක් ඉලක්ක කර ප්‍රහාරයක් එල්ල වූ අතර එහිදී බෝම්බය පිපිරී ගියේ නැත. පසුගියදා ඩුබායි හිදී අත්අඩංගුවට පත් ‘වනාතේ චතූ’ නැමැති සංවිධානාත්මක අපරාධකරුගේ සමීපතමයකුට අදාළව එම ප්‍රහාරය එල්ල වී තිබිණි.

තවත් සිදුවීමක් අගෝස්තු 05 වන දින රත්මලාන ශ්‍රී ඥානේන්ද්‍ර මාවතෙන් වාර්තා වූ අතර, එහිදී නිවසකට බෝම්බ දෙකක් ගසා තිබූ අතර ඉන් එකක් පිපිරී ගියේය. ‘රසල් ස්මිත්’ නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ මවගේ නිවස අසල මෙම සිදුවීම සිදු වී තිබිණි.

ප්‍රතිවාදී සංවිධානාත්මක අපරාධ කල්ලි අතර පවතින ගැටුම් මෙසේ අත්බෝම්බ ප්‍රහාර එල්ල වීමට හේතුවී ඇති බවට පොලිසිය සැකකරයි.

පාතාල කල්ලි අතර පවතින මෙම බෝම්බ සංස්කෘතිය හේතුවෙන්, ඉලක්කගත පුද්ගලයන්ට ඔබ්බෙන් ගොස් අහිංසක මහජනතාවගේ සහ දරුවන්ගේ ජීවිත අහිමි වන බැවින් මෙය රටේ පොදු ආරක්ෂාවට දැඩි තර්ජනයක් වී තිබේ.