December 11, 2025

දිත්වා සුළිකුණාටුවේ බලපෑමෙන් මෙරට සිදුවූ විනාශයෙන් පසු සහන සැලසීම සඳහා ශ්‍රී ලංකාවේ රක්ෂණ සමාගම් කඩිනමින් කටයුතු කරමින් සිටින අතර, සුළු දේපල හානි සඳහා වන්දි ගෙවීම් දැනටමත් ආරම්භ කර ඇති බව බලධාරීන් තහවුරු කර ඇත.

මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුමට අනුව, බලපෑමට ලක් වූ ව්‍යාපාර සහ දේපළ හිමියන්ට සහායවීම සඳහා යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව සියලුම රක්ෂණකරුවන් සමඟ රැස්වීමක් කැඳවා තිබේ.

මෙම වැඩසටහන යටතේ හානියට පත් දේපල, ව්‍යාපාර සහ ජීවිත හානි සඳහා රක්ෂණකරුවන් විසින් හිමිකම් සකස් කරනු ලබන අතර, හැකි සෑම ස්ථානයක් සඳහාම අර්ධ වශයෙන් හෝ ගෙවීම් වහාම නිකුත් කරනු ලැබේ.

සම්පූර්ණ ගෙවීම් සිදුකිරීමට පෙර පුළුල් හිමිකම් සත්‍යාපනය කරනු ලබන අතර, බලපෑමට ලක්වූවන් සඳහා කඩිනම් සහ නිවැරදි වන්දි සහතික කිරීමක් සිදුකෙරේ.

රජය මගින් ආරම්භ කළ ‘Rebuilding Sri Lanka’ වැඩසටහනට මේ වන විට දේශීය දායකයන්ගෙන්, විදේශයන්හි ජීවත්වන ශ්‍රී ලාංකිකයන්ගෙන් සහ විවිධ සංවිධානවලින් රුපියල් බිලියන 1.89 ක ආධාර ලැබී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

දිට්වා සුළි කුණාටුවෙන් කර්මාන්ත අංශයට දැඩි බලපෑමක් එල්ල වී තිබේ.

කර්මාන්ත අමාත්‍යාංශයේ මූලික දත්තවලින් පෙනීයන්නේ සියලුම කාණ්ඩවල ව්‍යවසායන් 3,200 කට වැඩි සංඛ්‍යාවක් හානි වාර්තා කර ඇති බවයි.

ඒවාට මහාපරිමාණ කර්මාන්ත 138 ක්, මධ්‍යම පරිමාණ 718 ක්, කුඩා පරිමාණ 1,134 ක්, ක්ෂුද්‍ර පරිමාණ 1,009 ක් සහ අපනයන නැඹුරු කර්මාන්ත 285ක් ඇතුළත් වේ.

ගම්පහ දිස්ත්‍රික්කය තුළ වැඩිම බලපෑමට ලක් වූ ව්‍යාපාර සංඛ්‍යාවක් පවතින අතර, මෙම සංඛ්‍යා මෙතෙක් අමාත්‍යාංශයේ දත්ත ගබඩාවට ඇතුළත් කර ඇති දත්ත පමණක් පිළිබිඹු කරන බවත්, තවමත් සම්පූර්ණ පාඩු ප්‍රමාණය පිළිබිඹු නොකරන බවත් නිලධාරීන් සඳහන් කරයි.

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන විසින් කරන ලද නව භූ අවකාශ විශ්ලේෂණයක් මගින් ව්‍යසනයේ පරිමාණය ඉස්මතු කර ඇති අතර, එම විශ්ලේෂණයට අනුව රටේ භූමි ප්‍රමාණයෙන් සියයට 20 කට ආසන්න ප්‍රමාණයක්, එනම් හෙක්ටයාර මිලියන 1.1 කට වැඩි ප්‍රමාණයක් ජලයෙන් යටවී ඇත.

ජල ගැලීම් ගොඩනැගිලි 720,000 කට ආසන්න ප්‍රමාණයකට බලපා ඇතැයි ද එමගින් පෙන්වාදෙයි.