June 14, 2026

විශේෂ කාර්ය බලකාය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දරට ස්ථාන මාරුවක් ලබාදීමේ හැකියාව පිළිබඳව පොලිස්පතිවරයා සමඟ සාකච්ඡා කරන ලෙස අභියාචනාධිකරණය නීතිපතිවරයාට දැනුම් දී තිබේ.

පාස්කු ඉරිදා ත්‍රස්තවාදී ප්‍රහාරය සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනවලට අදාළව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජයසුන්දර ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීමට හෝ රැඳවුම් භාරයේ තබාගැනීමට කිසිදු සැලසුමක් නොමැති බව නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දීමෙන් අනතුරුව අභියාචනාධිකරණය මෙම උපදෙස් ලබාදී ඇත.

ඒ අනුව, අදාළ ස්ථාන මාරුව ලබාදීමේ හැකියාව පිළිබඳව පොලිස්පතිවරයා සමඟ සාකච්ඡා කර, ඒ පිළිබඳ තීරණය ලබන ජූනි 17 වැනිදා අධිකරණයට දැනුම් දෙන ලෙස ද නීතිපතිවරයාට නියෝග කර තිබේ.

තමන්ව අත්අඩංගුවට ගැනීම සහ රඳවා තබාගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර විසින් ගොනුකර තිබූ රිට් පෙත්සමක්, ශෂී මහේන්ද්‍රන් සහ ආදිත්‍ය පටබැඳිගේ යන විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී අධිකරණය මෙම උපදෙස් නිකුත් කළේය.

මෙහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුහර්ෂි හේරත් අධිකරණයට දන්වා සිටියේ, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අත්අඩංගුවට ගැනීමේ සූදානමක් නොමැති බවත්, පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ විමර්ශන මේ වන විට නව මුහුණුවරකින් ක්‍රියාත්මක වන බවත්ය.

එබැවින් පෙත්සම්කාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා කර ඇති ඉල්ලීම පරිදි ඔහුට ස්ථාන මාරුවක් ලබාදීම සුදුසු බව ද ඇය අධිකරණය හමුවේ සඳහන් කර ඇත.