February 28, 2024

පැමිණිල්ලකට අදාළව කටඋත්තරයක් ගැනීමට යම් පුද්ගලයකු පොලිසියට කැඳවන අවස්ථාවකදී අදාළ පැමිණිල්ලේ අන්තර්ගතය සම්බන්ධයෙන් ඒ පුද්ගලයා දැනුවත් කිරීමට කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් කරුණු ඇතුළත් චක්‍රලේඛයක් අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඊයේ (27) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ එකඟතාව පළකළේය.

සමාජ මාධ්‍යයක පළකරන ලද කරුණක් සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කරගැනීමට කැඳවූ බලශක්ති විශේෂඥයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක විමර්ශන අංශයට එරෙහිව ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා පෞද්ගලිකවම අධිකරණයේ පෙනීසිටිමින් පොලිස්පතිවරයා මේ එකඟතාව පළ කළේය. ගාමිණී අමරසේකර, ශිරාන් ගුණරත්න, ජනක් ද සිල්වා යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ මේ පෙත්සම කැඳවන ලදි.

මීට පෙර අධිකරණය විසින් නිකුත් කරන ලද නොතීසියකට අනුව එහිදී පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශයේ උප පොලිස් පරීක්ෂක තිසර, එම අංශයේ ස්ථානාධිපතිවරයා පෞද්ගලිකවම අධිකරණයේ පෙනී සිටියහ. එහිදී නීතිපතිවරයා, පොලිස්පතිවරයා, ඇතුළු වගඋත්තරකරුවන් වෙනුවෙන් අධිකරණය හමුවේ කරුණු දැක්වූ රජයේ ශ්‍රේෂ්ඨ නීතිඥ ශමින්ද වික්‍රම සඳහන් කළේ යම් පැමිණිල්ලකට අදාළ පුද්ගලයකු තොරතුරු ඉල්ලා සිටි අවස්ථාවක පොලිසිය කටයුතු කළ යුතු ආකාරය දැක්වෙන චක්‍රලේඛයක් නිකුත් කිරීමට පොලිස් දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටින බවයි. ඒ සඳහා තවත් තමන්ට කාලය අවශ්‍ය බැවින් ඒ සඳහා අවසර ලබාදෙන ලෙස ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේය. එහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා සඳහන් කළේ අදාළ චක්‍රලේඛය සකස් කිරීම සඳහා කාලය දීම සම්බන්ධයෙන් තමාගේ විරුද්ධත්වයක් නැති බවයි.

කෙසේ වුවද එම චක්‍රලේඛයේ ඇතුළු ඇතුළත් කරුණු සම්බන්ධයෙන් අවධානය යොමුකිරීමෙන් අනතුරුව පෙත්සම ඉල්ලා අස්කරගැනීම හෝ නොගැනීම සම්බන්ධයෙන් සිය සේවාදායකයාගේ උපදෙස් ගැනීමට අපේක්ෂා කරන බවද ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේය. ඒ අනුව එම පෙත්සම දිගටම පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් සේවාදායකයාගේ ස්ථාවරය මේ චක්‍රලේඛය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව ද ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේය. කරුණු සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයාගේ ඉල්ලීමට අවසර දීමට තීරණය කළේය. ඒ අනුව අදාළ චක්‍රලේඛය ලබන මැයි මස 9 වැනිදා හෝ ඊට පෙර ගොනුකරන ලෙස නියම කෙරිණි. විනිසුරු මඬුල්ලේ සභාපති විනිසුරු ගාමිණී අමරසේකර එහිදී සඳහන් කළේ මේ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාග කිරීම සඳහා මෙතෙක් අධිකරණය විසින් තීරණයක් ගෙන නැති බවයි.

කෙසේවුවද අධිකරණය කළ දැනුම්දීම අනුව මේ පෙත්සමට පෙනී සිටීම සඳහා පෞද්ගලිකව අධිකරණයට පැමිණීම සම්බන්ධයෙන් විනිසුරු ගාමිණී අමරසේකර පොලිස්පතිවරයාට ස්තුතිය පළකළේය. අනතුරුව මේ පෙත්සම මැයි 9 දා නැවත කැඳවීමට තීරණය කෙරිණි. බලශක්ති ක්ෂේත්‍රයේ ක්‍රියාකාරිකයකු වන එම්.වී.බී. රැළපනාව මහතා මේ පෙත්සම් ඉදිරිපත් කර තිබිණි. සමාජ මාධ්‍යයක තමන් සිදු කළ පළකිරීමක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැනීම සඳහා පෙනීසිටින ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් දුරකතන මාර්ගයෙන් තමාට දැනුම් දූන් බව පෙත්සම්කරු සඳහන් කර ඇත. තමාට එරෙහිව පවතින පැමිණිල්ල කුමක්ද? තමාට එරෙහිව පවතින චෝදනා මොනවාද? යනාදි කරුණු ඒ අවස්ථාවේදී පෙත්සම්කරු විමසා සිටියද ඊට අදාළ තොරතුරු දීම වගඋත්තරකාර පොලිස් නිලධාරීන් ප්‍රතික්ෂේප කළ බවත් පෙත්සමෙහි සඳහන් වේ. තමාට ඒ තොරතුරු නොදීමෙන් පොලිස් නිලධාරීන් විසින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් දෙන ලෙස ඉල්ලා මේ පෙත්සම ගොනුකර තිබිණි.(දිනමිණ)