September 7, 2026

ඉන්දුනීසියාවේ ‘අනක් ක්‍රකටෝවා’ (Mount Anak Krakatau) ගිනි කන්ද සක්‍රිය වීමත් සමඟ වායුගෝලයට මුදාහැරුණු අළු ධූලි වලාකුළු හේතුවෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය ජකර්තා වෙත ක්‍රියාත්මක කරන ගුවන් ගමන් වාර දෙකක් අවලංගු කර තිබේ.

ඒ අනුව, අද (07) දින ක්‍රියාත්මක වීමට නියමිතව තිබූ කොළඹ සිට ජකර්තා දක්වා ගමන් ගන්නා UL 364 සහ ජකර්තා සිට කොළඹ බලා පැමිණෙන UL 365 යන ගුවන් වාර මෙලෙස අවලංගු කර ඇති බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම නිවේදනය කරයි.

ගිනි කන්දෙන් වායුගෝලයට මුදාහැරුණු අළු සහ දුම් කලාපය හේතුවෙන් ඉන්දුනීසියාවේ ජකර්තා නුවර ප්‍රධාන ගුවන් තොටුපළ ඇතුළු ගුවන් තොටුපොළ කිහිපයක මෙහෙයුම් කටයුතු තාවකාලිකව අත්හිටුවීමට එරට බලධාරීන් පියවර ගෙන තිබේ.

මෙම හදිසි තත්ත්වය මත අන්තර්ජාතික ගුවන් ගමන් රැසකට දැඩි බාධා එල්ල වී ඇති බව සදහන් වේ.