November 11, 2025

අයථා ලෙස වත්කම් රැස්කිරීම යටතේ චෝදනා එල්ල වී සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ පුත් රමිත් රඹුක්වැල්ලට අද කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා භාරදී තිබේ.

කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් හමුවේ මෙම නඩුව අද කැඳවා තිබිණි.

එහිදී අල්ලස් කොමිසම විසින් විත්තිකරුට එරෙහිව ගොනුකර තිබූ අධිචෝදනා භාරදී තිබේ.

අනතුරුව විනිසුරුවරයා නියෝග කර ඇත්තේ රමිත් රඹුක්වැල්ල රුපියල් 50,000 ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ10 බැගින් වූ ශරීර ඇප දෙකක් මතම මුදාහැරීමටයි.

විත්තිකරුගේ ඇඟිලි සලකුණු ලබාගෙන වාර්තාවක් කැඳවන ලෙසත් මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේය.

දූෂණ විරෝධී පනත යටතේ ගොනු කර ඇති මෙම නඩුවෙන් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ පෞද්ගලික ලේකම් ලෙස කටයුතු කළ රමිත් රඹුක්වැල්ල, 2022 ජනවාරි 1 වන දින සිට 2023 නොවැම්බර් 14 දක්වා කාලය තුළ රුපියල් මිලියන 296 කට අධික වත්කම් සහ දේපළ අත්පත් කර ගැනීම සම්බන්ධයෙන් ගිණුම් තැබීමට අපොහොසත් වී ඇති බවට චෝදනා එල්ල වී තිබේ.