August 17, 2026

ඉන්දියාවේ විදුලිබල පද්ධතිය සාමාන්‍යයෙන් පෙන්නුම් කරන දත්තවලට වඩා වෙනස්ම කතාවක් කියන තීරණාත්මක සන්ධිස්ථානයක් පසුකර ඇත.

ලෝකයේ ගල්අඟුරු මත වැඩිපුරම යැපෙන විශාලතම රටක් ලෙස ඉන්දියාව කාලාන්තරයක් තිස්සේ හැඳින්වුණු අතර, ඊට සාධාරණ හේතුද තිබුණි.

තවමත් එරට විදුලි නිෂ්පාදනයෙන් 70% ක් පමණ සිදුවන්නේ ගල්අඟුරු මගින් වන අතර, විදුලිබල පද්ධතියේ ප්‍රධාන පදනම ලෙස පවතින්නේද ගල්අඟුරුය.

කෙසේ වෙතත්, එරට ස්ථාපිත විදුලි ධාරිතාවේ සංයුතිය දෙස බලනවිට, මතුපිටින් පෙනෙනවාට වඩා ගැඹුරු වෙනසක් සිදුවෙමින් පවතින බව පෙනී යයි.

‘Ember’ සහ ‘Global Energy Monitor’ (GEM) හි නවතම දත්තවලට අනුව, ඉන්දියාවේ පිරිසිදු බලශක්ති මූලාශ්‍රවල ස්ථාපිත ධාරිතාව මේ වන විට ගිගාවොට් (GW) 331.7 දක්වා ඉහළ ගොස් ඇත.

ඒ හා සැසඳීමේදී පොසිල ඉන්ධන ධාරිතාව පවතින්නේ ගිගාවොට් 302.0 ක මට්ටමකය.

ඉන්දියාව හදිසියේම සම්පූර්ණයෙන්ම පිරිසිදු බලශක්ති පද්ධතියක් බවට පත්වූ නිසා මෙම සන්ධිස්ථානය වැදගත් වනවා නොවේ.

මක්නිසාද යත්, තවමත් එය සිදුවී නොමැති බැවිනි. නමුත්, ඉන්දියාව දැනට භාවිත කරන (දහනය කරන) බලශක්තිය සහ අලුතින් ගොඩනඟමින් පවතින බලශක්ති ප්‍රභවයන් අතර පවතින පැහැදිලි වෙනස මින් අනාවරණය වේ.

මෙම වෙනස වටහා ගැනීම ඉතා වැදගත් වන්නේ, දැනට පවතින නිෂ්පාදන දත්ත මගින් අද දවසේ විදුලිබල පද්ධතිය විස්තර කෙරෙන අතරතුර, ස්ථාපිත ධාරිතා දත්ත මගින් අනාගත විදුලිබල පද්ධතිය කෙබඳු වේදැයි පූර්ව දර්ශනයක් ලබාදෙන බැවිනි.

ගල්අඟුරු බලාගාරවලට පැය 24 පුරාම එක දිගට විදුලිය උත්පාදනය කළ හැකි වුවද, සූර්ය පැනල සහ විදුලි සුළං පෙති මගින් විදුලිය නිපදවිය හැක්කේ කාලගුණික තත්ත්වයන් යහපත් විට පමණක් බැවින් විදුලි නිෂ්පාදනයේදී තවමත් ගල්අඟුරු පෙරමුණේ පසුවේ.

නමුත් ස්ථාපිත ධාරිතාවේ සංයුතියෙන් පෙන්නුම් කරන්නේ ප්‍රාග්ධනය ගලායන්නේ කොතැනටද, අලුතින් එකතු වන්නේ කෙබඳු යටිතල පහසුකම්ද සහ අවසානයේ ඉන්දියාව ගොඩනැගීමට උත්සාහ කරන්නේ කෙබඳු ආකාරයේ බලශක්ති පද්ධතියක්ද යන්නයි.

2010 වසරේදී ඉන්දියාව සතුව තිබුණේ ගිගාවොට් 0.07 ක වැනි සුළු සූර්ය බලශක්ති ධාරිතාවකි.

නමුත් ‘Ember’ දත්තවලට අනුව අද වන විට එය ගිගාවොට් 211 දක්වා දැවැන්ත ලෙස ඉහළ ගොස් ඇත.

ඒ අනුව, සූර්ය බලශක්තිය පමණක් මේ වන විට රටේ මුළු ස්ථාපිත බලශක්ති ධාරිතාවෙන් 33% ක් නියෝජනය කරන අතර, එය ඉන්දියාවේ විශාලතම පිරිසිදු බලශක්ති ප්‍රභවය බවට පත්ව තිබේ.