April 23, 2023

බ්‍රිතාන්‍යයේ ජීවත්වන ඕඩිසා කාන්තාවක් වන මධුස්මිතා ජෙනා දාස් මැන්චෙස්ටර් හි පැවති කිලෝමීටර් 42.5 ක මැරතන් තරඟාවලියක දිව යාම මේ වන විට ලොවපුරා අන්‍තර්ජාල පරිහරණය කරන්නන් අතර වැඩියෙන්ම කතා බහට ලක් වූ මාතෘකාවක් බවට පත්ව තිබෙනවා.

ඇයට මෙම තරඟය අවසන් කිරීමට පැය 4 යි මිනිත්තු 50 ක් ගත වී තිබූ අතර ධාවනය සිදු කළ කාලය පුරාම ඔඩීසා හි සාම්ප්‍රාදායික අනන්‍යතාවය පිළිඹුබු වන සම්බල්පූර් සාරියකින් සැරසී දිවීම සිදු කිරීම කැපී පෙනෙන සිදුවීමක් වුණා.

දිවීම සිදුකළ කාලය පුරාම ඇය සැරසී සිටියේ අලංකාර රතු පැහැති සම්බල්පූරි සාරියකින් සහ තැඹිලි පැහැති සපත්තු යුවලකින්. ඔඩීසා ප්‍රාන්තයේ අත් යන්ත්‍ර රෙදි සාරි ඔවුන්ගේ සම්ප්‍රාදායික අනන්‍යතාවය පිළිඹිබු කරන්නක් ලෙස සැලකෙනවා.

වෘත්තියෙන් පාසල් ගුරුවරියක් වන මධුස්මිතාට දුර දිවීම අලුත් දෙයක් නොවන අතර ඇය ලොව පුරා බොහෝ මැරතන් සහ අල්ට්‍රා මැරතන් තරඟ සඳහා තරඟ වැදුණු තරඟකාරියක්. ඒ වගේම ඇය වයඹ එංගලන්තයේ ඔඩිසා ප්‍රජාවේ ක්‍රියාකාරී සාමාජිකාවක් බව මාධ්‍ය වාර්තා සඳහන් කර තිබෙනවා.

ඒ නිසාම පසුගිය ඉරිදා, සම්බල්පුරි අත්යන්ත්‍ර රෙදි සාරියකින් සැරසී,විශ්වාසයෙන් යුතුව මැන්චෙස්ටර්හි වීදි දිගේ දිව ගිය මධුස්මිතාට මඟ දෙපස රැස්වී සිටි ඉන්දියානුවන් ඇතුළු සියලුම දෙනාගෙන් නොමඳ ප්‍රතිචාර ලැබුණා.

මැරතන් තරඟාවලියක් යනු දීර්ඝ කාලයක් වැය වෙන වෙහෙසකර දුෂ්කර කර්තව්‍යයක්. තරඟකරුවන් මෙවැනි තරඟයකට සහභාගීවන්නේ ඉතාමත්ම සැහැල්ලු ධාවන ඇඳුම්වලින්. එවැනි පළපුරුදු තරඟකරුවන් රැසක් මැදට සම්ප්‍රදායික සම්බල්පූරි සාරියකින් පැමිණීමම අභියෝගයක් බවයි බොහෝ දෙනෙකුගේ විශ්වාසය වුණේ.

“මම තමයි සාරියක් ඇඳගෙන මැරතන් දුවපු එකම කෙනා. එවැනි දීර්ඝ කාලයක් දිවීම උඩු යටිකුරු කාර්යයක් වුණත් සාරියකින් එසේ කිරීම ඊටත් වඩා දුෂ්කරයි. නමුත් පැය 4 යි මිනිත්තු 50කින් සම්පූර්ණ දුර අවසන් කිරීමට හැකිවීම ගැන මම සතුටු වෙනවා” යැයි මධුස්මිතා මාධ්‍ය වෙත පවසා තිබෙනවා.

41 හැවිරිදි මධුස්මිතාට සාරියේ අභාෂය ලැබුණේ එදිනෙදා සාරි අඳින ඇගේ මව සහ මිත්තණියගෙන් බව සඳහන් වෙනවා.ඇයගේ පවුල අයත් වන්නේ ඔඩිසා සිට කිලෝමීටර් 30ක් පමණ දුරින් පිහිටි කුසුපූර් ගම්මානයටයි.

මධුස්මිතාගේ ඡායාරූපයක් බෙදා ගනිමින් ටිවිටර් පරිශීලකයෙක් මෙසේ පවසා තිබුණා. “ශතවර්ෂ ගණනාවක් තිස්සේ සහජීවනයෙන් පවතින ගෝත්‍රික සහ ජන ප්‍රජාවන්ගේ ශක්තිමත් ඇසුරෙන් පැන නගින සුවිශේෂී සංස්කෘතික අනන්‍යතාවයක් මෙම තරඟය පුරාම ඇගේ සාරියෙන් පිළිබිඹු වුණා”

“කාන්තාවන්ට සාරි ඇඳගෙන දුවන්න බැහැ කියලා බොහෝ දෙනෙක් විශ්වාස කරනවා, නමුත් සම්බල්පුරි අත්යන්ත්‍ර රෙදි ඇඳගෙන ඒ කාර්යය කිරීමෙන් මම ඔවුන් වැරදි බව ඔප්පු කළා. මම කෙසේ හෝ එක්සත් රාජධානියේ ගිම්හාන කාලවලදී ද සාරි ඇඳ පෙන්වා තිබෙනවා” යැයි ඇය මාධ්‍ය වෙත වැඩි දුරටත් සඳහන් කර තිබෙනවා.

පසුගිය වසරේ එක්සත් රාජධානියේ ඔඩිසා සමාජය විසින් එම සමාජයේ  ක්‍රීඩා විශිෂ්ඨත්වය වෙනුවෙන් ද මධුස්මිතාට උපහාර ලබා දී ඇති බව සඳහන්.