March 18, 2025

අදානි සමූහය, තවමත් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන අදානි ග්‍රීන් එනර්ජි සමාගමේ ඩොලර් බිලියන 1 ක පුනර්ජනනීය බලශක්ති බල ව්‍යාපෘතිය නැවත සිය න්‍යායපත්‍රයට ඇතුළත් කර ගැනීමට උනන්දු වන බව ඉන්දීය ජනමාධ්‍ය වාර්තා කරයි.

පසුගිය පෙබරවාරි මාසයේදී සමාගම ව්‍යාපෘතියෙන් ඉවත්වීමට තීරණය කළ බව පවසා තිබුණද, අය කළ යුතු ගාස්තු සම්බන්ධයෙන් දෙපාර්ශ්වයම එකඟතාවයකට පැමිණීමට ඉඩ ඇති බැවින් ඔවුන් ඒ සඳහා උනන්දුවෙන් පසුවන බව එම වාර්තා පෙන්වාදෙයි.

ගාස්තු පිළිබඳ සාකච්ඡා තවමත් සිදුවෙමින් පවතින අතර අන්‍යෝන්‍ය වශයෙන් එකඟ විය හැකි තීරුබදු අනුපාතයක් ඉක්මණින් විසඳනු ඇති බව ආරංචි මාර්ග පවසයි.

වසර 20 ක විදුලිබල මිලදී ගැනීමේ ගිවිසුම සඳහා මුලින් යෝජනා කරන ලද ශත 8.26 ට සාපේක්ෂව කිලෝවොට් පැයකට ශ්‍රී ලංකාව පාර්ශ්වයෙන් ශත 5-6 ක් පමණ ඉල්ලා සිටියද, කිලෝවොට් පැයකට ශත 7 ක් පමණ තාවකාලිකව යෝජනා කර ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.

ව්‍යාපෘතියේ වැඩකටයුතු ජුනි මස මුලදී ආරම්භ කළ හැකි බව ආරංචි මාර්ග සඳහන් කළේ, සියලු මූලික කටයුතු සහ ලේඛන කටයුතු ඔවුන් විසින් අවසන් කළ හැකි නම් පමණි.

ඉන්දීය රජය ද මෙම ව්‍යාපෘතිය දිවයින තුළ ඉදිරියට ගෙනයෑමට කැමැත්තක් දක්වන බව වටහාගෙන ඇති අතර, එය උපායමාර්ගික ආයෝජනයක් ලෙස සළකන බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.

කෙසේවෙතත් ව්‍යාපෘතිය පිළිබඳව පැහැදිලි කිරීමක් ඉල්ලා යවන ලද විද්‍යුත් තැපෑලකට අදානි සමූහය පිළිතුරු ලබාදී නැත.

මන්නාරම සහ පූනරින් හි මෙගාවොට් 484 ක පුනර්ජනනීය බලශක්ති සුළං බලාගාර සඳහා අයකළ යුතු ගාස්තු සම්බන්ධයෙන් අදානි ග්‍රීන් සහ ලංකා විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් ඇතුළු ශ්‍රී ලංකා රජයේ නිලධාරීන් අතර සාකච්ඡා බිඳ වැටී තිබිණි.

මෙම ව්‍යාපෘතියට සම්ප්‍රේෂණ මාර්ග සහ අමතර 220 kv සහ 400 kv සම්ප්‍රේෂණ ජාල පුළුල් කිරීම සම්බන්ධ විය.

ව්‍යාපෘතිය සඳහා පූර්ව සංවර්ධන කටයුතු වෙනුවෙන් අදානි ග්‍රීන් දැනටමත් ඩොලර් මිලියන 5 ක් වියදම් කර ඇත.

ව්‍යාපෘතියෙන් ඉවත්වීමට ගත් තීරණය පිළිබඳව සමාගම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට ලිඛිතව දැනුම් දී තිබුණද, එය සම්පූර්ණයෙන්ම නවතා දැමීමට කිසිදු නීතිමය පියවරක් ගෙන නොමැති බව ආරංචි මාර්ග පෙන්වාදෙයි.

ශ්‍රී ලංකාවේ සංවර්ධන අවස්ථා තිබේ නම් එය සැමවිටම ලබාගත හැකි බව පවසමින් අනාගත සහයෝගීතා සඳහා සමාගම කවුළුවක් ද විවෘත කර ඇත.

මන්නාරමේ පාරිසරික අනුමැතිය හැරුණු විට ව්‍යාපෘතියට බොහෝ නියාමන නිෂ්කාශන ලැබී ඇත.