March 26, 2026

මැදපෙරදිග යුද්ධය හමුවේ බලශක්ති අංශය බිඳවැටීමත් සමග ස්වාභාවික නල ගෑස් (PNG) මත යැපීම වැඩි කරන ලෙස ඉන්දියාව රටවැසියන්ගෙන් ඉල්ලා සිටී.

මෙය මිලියන සංඛ්‍යාත ජනතාවකගේ ඉවුම් පිහුම් පුරුදු පරිවර්තනය කළ හැකි පියවරකි.

ඉන්දියාවේ නාගරික සහ ග්‍රාමීය ප්‍රදේශවල නිවාසවල ප්‍රාථමික ඉවුම් පිහුම් ඉන්ධන ලෙස LPG ගෑස් සිලින්ඩර බහුලව යොදා ගැනේ.

උස් මහල් නිවාසවල සිට දුරස්ථ ගම්මාන පොකුරු දක්වා සෑම තැනකටම ගෑස් සිලින්ඩර බෙදා හරිනු ලැබේ.

කෙසේවෙතත්, ඉන්දියාවේ නල මාර්ගයෙන් බෙදා හරින PNG ගෑස් මෑත වසරවලදී ක්‍රමයෙන් පුළුල් වෙමින් පවතින අතර, රට පුරා ලියාපදිංචි ගෘහ සම්බන්ධතා මිලියන 15කට වඩා ඇත.

බිලියන 1.4ක ජනගහනයක් සිටින ඉන්දියාව එහි LPG ගෑස්වලින් වැඩි ප්‍රමාණයක් ආනයනය කරන්නේ මැද පෙරදිගිනි.

එහෙත් PNG ගෑස් සැපයුම ආනයන මත එතරම් දැඩි ලෙස රඳා නොපවතී.

“PNG සම්බන්ධයෙන් ගත් කල, අපි 50%ක් දේශීයව නිෂ්පාදනය කරනවා. එබැවින්, අපි LPG සිට PNG වෙත මාරු වීම සිදුකරන්නේ රටේ යහපත සඳහායි,” ඛනිජ තෙල් අමාත්‍යාංශයේ ඒකාබද්ධ ලේකම් සුජාතා ෂර්මා පැවසීය.

මේ සතියේ රජය රටේ ස්වභාවික ගෑස් යටිතල පහසුකම් පුළුල් කිරීමට නියෝග කළ අතර, පවතින නල ගෑස් ජාල ඇති ප්‍රදේශවල නිවාසවලට තැපෑලෙන් දැනුම්දීමක් ලැබී මාස තුනක් ඇතුළත ඒ සඳහා මාරු වන ලෙස උපදෙස් දුන්නේය.

එසේ කිරීමට අපොහොසත් වන නිවාසවලට ඔවුන්ගේ LPG ගෑස් සැපයුමට පවතින ප්‍රවේශය අහිමි විය හැකි බව නියෝගයේ සඳහන් විය.

කෙසේවෙතත් මෙය පදිංචිකරුවන් අතර යම් කණස්සල්ලක් ඇති කර තිබේ.

“අපේ මුළු අසල්වැසි ප්‍රදේශයම LPG ගෑස් මත යැපෙන්නේ,” දිල්ලියේ ලජ්පාත් නගර් අසල්වැසි ප්‍රදේශයේ සිල්ලර වෙළඳසැල් හිමිකාරිනියක් වන චන්ද්‍රා ටැන්ඩන් පැවසීය.

චන්ද්‍රා පැවසුවේ නිවේදනය ගැන තමා නොදන්නා බවත් මාරු වන්නේ කෙසේදැයි නොදන්නා බවත්ය.

“සමහර විට මෙම යුද්ධය අවසන් වූ පසු මෙය පහව යයි,” යනුවෙන් ඇය පැවසුවාය.

ආසියාවේ අනෙකුත් රටවල් ද බලශක්ති අර්බුදයට මුහුණ දීම සඳහා හදිසි පියවර ක්‍රියාත්මක කරමින් සිටී.