August 23, 2026

ඉන්දියාවේ සියලුම අන්තර්ජාතික ගුවන්තොටුපොළවල් හරහා විදේශගත වන මගීන්ගේ බෝඩිං පාස් සඳහා ආගමන විගමන කවුන්ටරවලදී මුද්‍රා තැබීමේ ක්‍රමවේදය එළඹෙන සැප්තැම්බර් 01 වැනිදා සිට සදහටම අහෝසි කිරීමට ඉන්දීය ආගමන විගමන කාර්යාංශය තීරණය කර ඇත.

ඒ අනුව මගීන්ට තම ජංගම දුරකථනවල ඇති විද්‍යුත් බෝඩිං පාස් භාවිත කරමින් ආගමන විගමන කටයුතු නිම කරගැනීමේ පහසුකම සැලසේ.

මුද්‍රා තැබීමේ පැරණි ක්‍රමවේදය නිසා මගීන්ට සිදු වූ කාලය නාස්තිය මෙන්ම ඇතැම් අවස්ථාවලදී නිසි පරිදි මුද්‍රාව නොවැටීම නිසා බෝඩිං පාස් කියවීමට නොහැකි වීමෙන් ඇති වූ ගැටලු සලකා බලා මෙම පියවර ගෙන තිබේ.

යම් මගියෙකු මුද්‍රිත බෝඩිං පාස් ඉදිරිපත් කළද එය භාරගන්නා නමුත්, ඊටද ආගමන විගමන නිලධාරීන් විසින් මුද්‍රා තබනු නොලැබේ.

ගුවන්තොටුපොළ පරිශ්‍රවල මගීන් පරීක්ෂා කිරීමේදී බෝඩිං පාස්වලට මුද්‍රා තැබීමේ ක්‍රමවේදය මධ්‍යම කාර්මික ආරක්ෂක බලකාය විසින් මීට වසර කිහිපයකට පෙරම අත්හිටුවා තිබිණි.

ඊට අමතරව, ඉන්දීය විදේශ ගමන් බලපත්‍ර හිමිකරුවන් වෙනුවෙන් ගුවන්තොටුපොළවලදී විදේශගමන් බලපත්‍රයට ඇතුළුවීමේ සහ පිටවීමේ මුද්‍රා තැබීමද අහෝසි කිරීම සඳහා නියමු ව්‍යාපෘතියක් මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතින බව නිලධාරීහු වැඩිදුරටත් සඳහන් කළහ.