October 25, 2026

ඉන්දියාව සහ යුරෝපා සංගමය අතර අත්සන් කිරීමට නියමිත ද්විපාර්ශ්වික නිදහස් වෙළෙඳ ගිවිසුමේ අනුමැති ක්‍රියාවලිය වේගවත් කිරීමට දෙපාර්ශ්වයම එකඟතාවකට පැමිණ තිබේ. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ඉදිරි බෙල්ජියම් සංචාරයට සමගාමීව එළඹෙන දෙසැම්බර් මැද භාගය වන විට මෙම ගිවිසුමට එළඹීම ඔවුන්ගේ ප්‍රධාන ඉලක්කය වී ඇත.

ඇමෙරිකා එක්සත් ජනපදයේ මියාමි නුවර පැවැත්වෙන G20 රාජ්‍ය නායක සමුළුවට සහභාගී වීමෙන් අනතුරුව, අග්‍රාමාත්‍ය මෝදි බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර වෙත පැමිණීමට නියමිතය. මෙම සංචාරය අතරතුර එනම්, දෙසැම්බර් 17 හෝ 18 යන දිනවලදී මෙම ගිවිසුමට අත්සන් තැබීමට නියමිත බව වාර්තා වේ.

ලෝකයේ පවතින අස්ථාවර භූ-දේශපාලනික තත්ත්වයන් හමුවේ, ඉන්දියාව සමඟ පවතින මෙම වෙළෙඳ ගිවිසුම අනුමත කිරීමේ ක්‍රියාවලිය ඉක්මන් කරන ලෙස යුරෝපීය කොමිසම විසින් යුරෝපීය කවුන්සිලයෙන් ඉල්ලීමක් ද කර ඇත.

මෙහිදී නීතිමය කටයුතු ප්‍රමාදයකින් තොරව අවසන් කරගැනීම සඳහා, යුරෝපා සංගමයේ නිල භාෂා 24 ටම ගිවිසුම පරිවර්තනය වන තෙක් නොසිට, එහි මුල් ඉංග්‍රීසි පිටපත පදනම් කරගනිමින් අනුමැතිය ලබාගැනීමට යුරෝපීය කොමිසම යෝජනා කර තිබීම විශේෂත්වයකි.

මේ සම්බන්ධයෙන් වන ඉදිරි ක්‍රියාපටිපාටීන් නිරාකරණය කරගැනීම සඳහා ඉන්දීය නියෝජ්‍ය වාණිජ අමාත්‍ය රාජේෂ් අග්‍රවාල් මෙම සතියේදී බ්‍රසල්ස් නුවර බලා පිටත්ව යාමට නියමිතය. එමෙන්ම ඉන්දීය වාණිජ අමාත්‍ය පියුෂ් ගෝයල් ද මේ වන විට යුරෝපා සංගමයේ ප්‍රධාන පාර්ශවකරුවන් වන ජර්මනිය සහ නෙදර්ලන්තය යන රටවල නිල සංචාරයක නිරත වෙමින් සිටියි.