August 17, 2026

ඉන්දීය සහ තායිලන්ත හමුදා සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන ‘මෛත්‍රී’ ද්විපාර්ශ්වික ඒකාබද්ධ යුද අභ්‍යාසය අගෝස්තු 18 වන දා සිට අගෝස්තු 31 වන දා දක්වා තායිලන්තයේ ‘සුරත් තානි’ හි පිහිටි ‘විභාවාදී රංසිත්’ හමුදා කඳවුරේදී පැවැත්වෙන බව බලධාරීහු සඳහන් කරති.

එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ VII වන පරිච්ඡේදයට අනුකූලව, ඝන කැලෑ සහ අර්ධ නාගරික පරිසරයන් තුළ ක්‍රියාත්මක වන ත්‍රස්තවාදී හා කැරලිකාරී කණ්ඩායම් මර්දනය කිරීමේ මෙහෙයුම් සඳහා වන ඒකාබද්ධ හැකියාවන් වර්ධනය කරගැනීම මෙම යුද අභ්‍යාසයේ ප්‍රධාන අරමුණයි.

මෙම ඉන්දීය-තායිලන්ත ඒකාබද්ධ යුද අභ්‍යාසයේ 15 වන අදියර සඳහා සහභාගී වන ඉන්දීය හමුදා කණ්ඩායම තායිලන්තය බලා පිටත්ව ගිය බව ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.

මෙම අභ්‍යාසය සඳහා දෙරටෙන්ම හමුදා සාමාජිකයින් 85 දෙනා බැගින් සහභාගී වේ.

ඉන්දීය හමුදාව නියෝජනය කරමින් ‘9 ගෝර්කා රයිෆල්ස්’ (9 Gorkha Rifles) බලඇණියේ සෙබළුන් එක්වන අතර, තායිලන්ත රාජකීය හමුදාව නියෝජනය කරමින් 5 වන සේනාංකයට අයත් 25 වන පාබල බලසේනාවේ 3 වන බලඇණියේ සෙබළුන් සහභාගී වීමට නියමිතය.

කැලෑබද සහ අර්ධ නාගරික භූමි ප්‍රදේශයන්හි ඒකාබද්ධ මෙහෙයුම් සිදුකිරීම පිළිබඳ පුහුණුවීම් සඳහා මෙහිදී මූලික අවධානය යොමුකෙරේ.

දෙරට අතර පවතින හමුදාමය සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම මෙම ‘මෛත්‍රී’ අභ්‍යාසයේ ප්‍රධාන අරමුණ වන අතර, ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාස, යුධ සංග්‍රාමික සාකච්ඡා, දේශන, ප්‍රායෝගික නිරූපණයන් මෙන්ම අවසාන ඇගයීම් අභ්‍යාසයක් ද මීට ඇතුළත් වේ.