May 11, 2026

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පසුගිය ඉරිදා පැවති සාකච්ඡාවකදී, දිත්වා සුළි කුණාටුවෙන් පසු ශ්‍රී ලංකාව නැවත ගොඩනැංවීම සඳහා නවදිල්ලිය ලබාදුන් ඩොලර් මිලියන 450 ක සහන පැකේජය ක්‍රියාත්මක කිරීම කඩිනම් කිරීමට දෙපාර්ශ්වයම එකඟ විය.

කොළඹ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා සහ කම්කරු අමාත්‍ය මෙන්ම මුදල් හා සැලසුම් නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු අතර පැවති හමුවකදී මේ පිළිබඳව සාකච්ඡා කෙරිණි.

“ඩොලර් මිලියන 450 ක පශ්චාත් දිත්වා ප්‍රතිසංස්කරණ පැකේජය ක්‍රියාත්මක කිරීම කඩිනම් කිරීමට එකඟ විය,” යනුවෙන් ඉන්දීය මහ කොමසාරිස්වරයා X පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කළේය.

පසුගිය වසරේ නොවැම්බර් 27 වැනිදා ශ්‍රී ලංකාවට බලපෑ ‘දිත්වා’ සුළි කුණාටුව හේතුවෙන් මිලියන 3කට අධික ජනතාවක් පීඩාවට පත් වූ අතර, ඉන් ඇති වූ ගංවතුර සහ නායයෑම් හේතුවෙන් 640කට අධික පිරිසක් මිය ගියහ.

ව්‍යසනයකදී ප්‍රථමයෙන්ම සහය ලබාදෙන රට ලෙස ඉන්දියාව, ශ්‍රී ලංකාවේ සහන සේවා සැපයීම සහ සන්නිවේදන කටයුතු යථා තත්ත්වයට පත් කිරීම සඳහා නොවැම්බර් 28 වැනිදා ‘සාගර් බන්ධු’ (Operation Sagar Bandhu) මෙහෙයුම ආරම්භ කළේය.

ඊට අමතරව ඖෂධ සහ ක්ෂේත්‍ර රෝහල් පිහිටුවීමටද ඉන්දියාව පියවර ගත්තේය.

දෙසැම්බර් 23 වන දින, ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර් දිවයිනේ ඉහළ පෙළේ නායකයින් හමුවී, සුළි කුණාටුවෙන් පසු ශ්‍රී ලංකාව නැවත ගොඩනැංවීම සඳහා ඉන්දියාවේ කැපවීම තහවුරු කරමින් ඩොලර් මිලියන 450 ක ප්‍රතිසංස්කරණ පැකේජයක් ප්‍රකාශයට පත් කළේය.

මෙම සහන පැකේජයට ඩොලර් මිලියන 350 ක සහනදායී ණය සහ ඩොලර් මිලියන 100 ක ප්‍රදානයන් ඇතුළත් විය.

දැනට ක්‍රියාත්මක අනෙකුත් ද්විපාර්ශ්වික ව්‍යාපෘතිවල ප්‍රගතිය පිළිබඳවද මෙහිදී සාකච්ඡා කළ බව ඉන්දිය මහ කොමසාරිස්වරයා වැඩිදුරටත් පැවසීය.

නිවාස, සෞඛ්‍ය, ජලය, යටිතල පහසුකම්, තාක්ෂණ සහ සංස්කෘතික අංශ ඔස්සේ ඉන්දීය ව්‍යාපෘති දැනට ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වේ.

එසේම, නවීන මූල්‍ය රාමු සහ සයිබර් ආරක්ෂණ ක්ෂේත්‍රයන්හි සහයෝගීතාවය පිළිබඳවද දෙපාර්ශ්වය අදහස් හුවමාරු කරගත් බව ඔහු සඳහන් කළේය.